ඉස්ලාමයට අනුව මරණින් මතු ජීවිතය (Life after death according to Islam)
ඉස්ලාමයට අනුව, ලෞකික ජිවිතයේ අරමුණ මරණයෙන් පසු ජීවිතය ජය ගැනීමය. ඒ අනුව, මරණයෙන් පසු නැවත නැගිටවිමක් ගැන සෑම මුස්ලිම්වරයෙකුම තරයේ විශ්වාස කරති. එම විශ්වාසය නිසා මුස්ලිම්වරයෙකු මුහුණ දෙන ඕනෑම තත්වයකට ඉවසීමෙන් සහ උපේක්ෂාවෙන් මුහුණ දෙන්නේය. කෙසේ වෙතත් ඇතැම් අයට මරණයෙන් පසු නැවත නැගිටීමක් ගැන කිසිම විශ්වාසයක් නැත..ඒ අනුව ඔවුන් එවැනි ජිවිතයකට සුදානම් වන්නේ නැත. එපමනක් නොව මරණයෙන් මතු ජිවිතයක් ගැන විශ්වාස කරන්නේද නැත. ඔවුන්ගේ සිතිවිලි ගැන අල් කුරානයේ, මෙසේ විස්තර කොට ඇත.."අපගේ මෙලෝ ජීවිතය හැර වෙන කිසිවක් නොමැත. අපි මරණයට පත් වෙමු. අපි ජිවත් වෙමු. කාලයම මිස වෙන කිසිවක් අපව විනාශ නොකරන්නේය' ඔවුන්ට මේ ගැන කිසිම දැනුමක් නොමැත. ඔවුන් අනුමාන කරනවා පමණි" (කුරානය 45:24).
දෙවියන් ගැන විශ්වාස නොකරන බොහෝ අයගේ විශ්වාසය වන්නේ මරණයට පත් වීමෙන් පසු ශරීරය පසට දිරා පත් වන බවත් එතනින් ජීවිතය කෙළවර වන බවත් ය. .එබැවින් ඔවුන් මෙසේ ප්රශ්න කරන බව කුරානය පෙන්වා දෙන්නේය. "මරණයට පත්වී, අප පස් ලෙසද, ඇටකටු ලෙසද, වූ පසු අපවද අපගේ මුතුන්මිත්තන්වද නැවතත් නැගිටවනු ලබන්නෙමු දැයි අසන්නන් ලෙස මොවුහු සිටියහ". ඔවුන්ට කුරානය මෙසේ පිළිතුරු දෙන්නේය. "නියත වශයෙන්ම පෙර සිටියවුන්ද, පසුව සිටියවුන්ද නියමිත වේලාවකදී එක්රැස් කරනු ලබන බව (නබි තුමනි) නුඹ (ඔවුන් හට) පවසනු {කුරානය 56:49,50). මෙම සංසිද්ධිය තේරුම් කර දීම සඳහා මෙම උදාහරණය ප්රමාණවත් වේ. "මිය ගිය පොළව ඔවුනට සාක්ෂියක් වේ. අපි එය ප්රාණවත් කර, එයින් ධාන්යය ද පිට කළෙමු. ඔවුහු එයින්ම අනුභව කරති" (කුරානය 36:33). මතු ජීවිතය ගැන විශ්වාස නොකරන වුන් මේ ගැන සිතා බැලිය යුතු නොවේද? මෙය උදාහරණයක් පමණි. කෙසේ වෙතත් මරණයෙන් පසු නැවත නැගිටවූ සියළුදෙනාගෙන්ම ඔවුන් මේ ලෝකයේ ක්රියා කල ආකාරය ගැන ප්රශ්න කිරීමට නියමිතය. ඊට සාර්ථකව පිළිතරු ලබා දුන් සියලු දෙනා ස්වර්ගයටත් අනෙක් අය නිරයටත් යෑමට නියමිතය.
මතු ජීවිතයේදී කරනු ලබන ප්රශ්න කිරීම ඉතා භයානක වන්නේ එය තම ශරීර අවයව වලින්ම සිදු කෙරෙන නිසාය. මේ ලෝකයේදී තම මුඛයට කතා කිරීමේ හැකියාව ලබා දුන් අල්ලාහ්, තම අත්පා වලට කතා කිරීම සඳහා හැකියාව ලබා දෙන්නේය. ඒ අනුව තම අත්පා මෙලොවදී කල දේවල් ගැන පවසනු ඇත. මෙම කුර්ආන් වැකියෙන් එය විස්තර කොට තිබේ. "එම දිනයේදී අපි ඔවුන්ගේ මුඛයට මුද්රා තබන්නෙමු. එවිට ඔවුන්ගේ අත් අප සමග කතා කරනු ඇත. ඔවුන්ගේ පාදයන් ඔවුන් කරමින් සිටි දේවල් ගැන සාක්ෂි දරනු ඇත" (කුරානය 36:65). මේ හේතුවෙන් වැරදි කල කිසිවෙකුට බේරීමට ලැබෙන්නේ නැත. එහෙත් මේ ලෝකයේදී දෙවියන්ව විශ්වාස කොට තිබුනේ නම් ඔහුගේ කරුණාව ගැන බලාපොරොත්තු තැබිය හැකිය.
ඇතැම් අය කල වරදවල් වලට මේ ලෝකයේදී ඊට සුදුසු දඬුවම් ලබා දීමට නොහැක. උදාහරණයක් වශයෙන් මිනිස් ඝාතන විශාල ලෙස සිදු කල කෙනෙකුට මේ ලෝකයේදී ලබා දිය හැක්කේ එක මරණ දඬුවමක් පමණි. එහෙත් එවැනි කෙනෙකුට මතු ජීවිතයේදී දැවී යන සම වෙනුවට අලුතින් සමක් ලබා දීමෙන් නැවත නැවත දඬුවම් කරනු ලැබේ. ඉස්ලාමිය ඉගැන්වීම අනුව දෙවියන්ව ප්රතික්ෂේප කල කිසිවෙකුට ස්වර්ගය ලැබෙන්නේ නැත. මෙම කුර්ආන් වැකියෙන් එය පැහැදිලි වේ. “නියතවශයෙන්ම කවරෙක් අපගේ වැකි ප්රතික්ෂේප කළෝද ඔවුන්ව අපි නිරයේ දමා පුළුස්සමු. ඔවුන්ගේ සම පිළිස්සෙන සෑම අවස්ථාවකම අපි ඔවුනට අළුත් සමක් ලබා දෙමින් ඔවුන්ට වේදනාව දැනීමට සලස්වන්නෙමු” (කුරානය 4:56).
මෙලොව ජීවිතයේදී ඉතා පහසුවෙන් ස්වර්ගය ලබා ගැනීමට අවස්තාව සලසා දී තිබියෙදීත් බොහෝ අය ඉන් ප්රයෝජන ගන්නේ නැත. එවැනි අය මිය ගිය පසු, නිරයෙන් ගැලවීම සඳහා මොන දේ දුන්නත් ඉන් ගැලවීමක් නැත. “නියතවශයෙන්ම, විශ්වාස නොකළවුන් සතුව මුළු ලොවේම ඇති වස්තුවත් එවැනිම තවත් ප්රමාණයක් තිබුනත් ඒවා වන්දි වශෙයන් භාර ගනු ලබන්නේ නැත. එහිදී ඔවුන්ට හිංසාකාරී වේදනාවක්ම ඇත” (කුරානය 5:36).
කෙසේ වෙතත් දෙවියන්ව විශ්වාස කොට ඔහු පෙන්වා දුන් මාර්ගයේ ක්රියා කල සියලුම දෙනා ස්වර්ගයට යන්නේය. ඒ ගැන කුරානයේ මෙසේ විස්තර කොට ඇත. "කවරහු (අල්ලාහ්ගේ ඒකීයත්වය) විශ්වාස කර, යහකම් කරයිද, අපි ඔවුන්ව ස්වර්ගයේ උයන් වෙත ඇතුළු කරන්නෙමු. එහි පහලින් ගංගා ගලා බසින්නේය. ඔවුහු එහි සදාකාලිකව වාසය කරන්නෝය. අල්ලාහ්ගේ ප්රතිඥාව සත්යවේ. අල්ලාහ්ට වඩා සත්යවන්තයා කවරෙක්ද?" (කුරානය 4:122). කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් කොට ඇත. "විශ්වාස කර යහකම් ද කළවුන් හට ස්වර්ගයේ උයන් ඇතැයි සුබාරංචි පවසනු! ඒවායෙහි පහලින් ගංගා ගලා බසින්නේය. ඔවුන්ට එහි ඇති පළතුරක් දෙනු ලැබූ සෑම විටකම: "මීට පෙරද අපට මෙයම දෙනු ලැබුවෙමු"යි පවසන්නෝය. (මක්නිසාද යත් ඒවා පෙනුමෙන්) එක සාමන නිසාය (එහෙත් රසයෙන් වෙනස්ය). ඔවුන්ට එහි පිවිතුරු සහකාරියෝද ලැබෙනු ඇත. ඔවුහු එහි සදාකල් වාසය කරන්නෝය" (කුරානය 2:25). මේවා ගැන මෙලොවට පහළ කරන ලද සෑම දහම් පණිවිඩයකින් ම පෙන්වා දී තිබේ. ඒ අනුව මුසා නබිතුමාට පහළ කරන ලද තව්රාත් හෙවත් බයිබලයට පෙර පහල කරන ලද ආගමේද, ජේසු තුමාට පහල කරන ලද ආගම වන ඉන්ජිල් හෙවත්, බයිබලයේද විස්තර කොට තිබේ.
ඉස්ලාම් ආගම පෙන්වා දෙන පරිදි මුල්ම මිනිසා වන නබි ආදම් තුමාගේ පටන් අවසාන නබිවරයා වන මුහම්මද් තුමා දක්වා සියලුම දෙනාට දහම් පණිවිඩ පැමිණ ඇත්තේ එකම දෙවි කෙනෙක් වන අල්ලාහ්ගෙන් ය. සෑම නබිවරයෙකුම අල්ලාහ්ගේ අණට සම්පුර්ණයෙන්ම යටත් විය. ඒ අනුව ඔවුන් සියලු දෙනාම මුස්ලිම්වරුන් වෙති. ඔවුන් සියලු දෙනාම මරණයෙන් පසු ජිවිතයක් ගැන දේශනා කළෝය. එය විශ්වාස කොට දෙවියන් පෙන්වා දී ඇති මාර්ගයේ ක්රියා කිරීමෙන් මතු ජීවිතය සාර්ථක කර ගත හැකි බව ඉස්ලාමිය ඉගැන්වීම වේ.
By Fasy Ajward, B.Sc(Physics Special) Hons.Japura
Ex. Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path
Comments
Post a Comment