මුහම්මද් (ﷺ) තුමා කව්ද? (Who is prophet Mohamed (ﷺ)?)
මානව වර්ගයා නිවැරදි මාවතට යොමු කිරීම සඳහා පැමිණි ලක්ෂ සංඛ්යාත නබිවරුන් අතරින් අවසාන තැනැත්තා වන්නේ මුහම්මද් නබිතුමාය. අනෙක් නබිවරුන් මෙන් නොව එතුමා මුළු මහත් මානව වර්ගයාම නියෝජනය කරන්නේය. එතුමාගේ සම්ප්රාප්තියෙන් පසු නබිවරුන්ගේ පැමිණීම අවසානයට පත් විය. එබැවින්, ලෝක අවසානය දක්වාම මිනිස් වර්ගයාගේ මාර්ගෝපදේශකයා වන්නේ එතුමා ය.
මුහම්මද් නබිතුමා උපත ලබන්නේ ජෙසු තුමාගෙන් පසු වසර 570 ක් පමණ ගෙවී ගිය පසුව වේ. ඒ අනුව ජේසු තුමාටත් මුහම්මද් නබි තුමාටත් අතර කාල පරිජ්ජෙදයේදී කිසිම නබිවරයෙකු ජිවතුන් අතර සිටියේ නැත. කෙසේ වෙතත්, ආදම් තුමාගේ පටන් මුහම්මද් (ﷺ) තුමා දක්වා සිය දහසකට වඩා නබිවරුන්, දහම දෙසීම සඳහා මෙළොවට පැමිණ තිබේ.
සෑම නබිවරයෙකුම දේශනා කලේ එකම දහම් පණිවිඩයකි. කෙසේ වෙතත්, එම නබිවරුන්ට ලබා දුන් ආගමික නීති රීති කාලෙන් කාලෙට සහ දේශයෙන් දේශයට වෙනස් විය. මුහම්මද් නබිතුමාට පහළ කරන ලද අල් කුරානයත් සමග ඉස්ලාම් දහම සම්පුර්ණ විය.
මුහම්මද් නබිතුමා පැවත එන්නේ ඉබ්රාහිම් නබිතුමාගේ පුත් ඉස්මායිල් තුමාගේ පරම්පරාවෙන් ය. එසේ තිබියදී ජේසු තුමා පැවත එන්නේ ඉබ්රාහිම් තුමාගේ පුත් ඉස්හාක් නබි තුමාගේ පරම්පරාවෙන් ය. එබැවින් එම දෙදෙනා අතර ඥාති සම්බන්දයක් තිබේ. යුදෙව් ආගම දේශනා කල මුසා නබි තුමාද ඉබ්රාහිම් නබි තුමාගේ පරම්පරාවෙන් පැවත එන්නේය.
මුහම්මද් (ﷺ) තුමා ක්රි.ව. 571 දී අබ්දුල්ලා සහ අමිනා යන දෙදෙනාට දාව උපත ලැබුවේය. එතුමා උපදින විටත් ඔහුගේ පියා මිය ගොස් තිබුනේය. එකල පැවති අරාබියේ සිරිත අනුව නබිතුමා හාලිමා නමැති ග්රාමීය කාන්තාව ළඟ හැදී වැඩුනේය. මුහම්මද් නබි තුමාට වයස හය වන විට ඔහුගේ මවද අභාවප්රාප්ත වුවාය. ඒ අනුව නබිතුමා හැදී වැඩුණේ තම සීයා වන අබ්දුල් මුත්ත්ලිබ් තුමා ළඟ ය. ඔහුගේ අභාවයෙන් පසු නබිතුමාව හදා වඩා ගත්තේ ඔහුගේ පියාගේ සහෝදරයෙකු වන අබු තාලිබ් තුමා ය.
නබිතුමා කුඩා කාලයේදී අධ්යාපනයක් ලබුවේ නැත. එබැවින් ඔහුට කියැවීමට හෝ ලිවීමට නොහැකිය. එහෙත් එතුමා එළුවන් ඇති කළේය. තරුණ කාලයේදී එතුමා කදිජා තුමියගේ වෙළඳ නියෝජිතයෙකු ලෙස සිරියාවට ගොස් තිබේ. එහිදී කිතුනු පුජකවරයෙකු නබිතුමව දැක ඔහු ළඟ අනාගත වක්තෘ වරයෙකු ළඟ තිබෙන ලක්ෂණ දැකිය හැකි බව, එතුමාගේ බාප්පා සමග පවසා තිබේ.
නබිතුමා කිසිම දවසක මුසාවක් පවසා නැත. එබැවින් ඔහුට අල් අමීන් හෙවත් විශ්වාස වන්තයා යන නම පටබැඳුනේ ය. තවද ඔහු එකල පැවති කිසිම අනාචාරයක නිරත වී නොමැත. අල්ලාහ්, ඔහුව නබිත්වයට පෙර සිටම එවැනි දේවල් වලින් ආරක්ෂා කොට තිබේ.
මුහම්මද් (ﷺ) තුමාගේ වයස 25 දී ඔහුට වඩා වයසින් මුහුකුරා ගිය දෙවරක් වැන්දඹු භාවයට පත්ව සිටි කදිජා තුමිය සමග සරණ පාවා ගත්තේය. වයස් පරතරය කෙසේ වෙතත් එම විවාහය ඉතා සාර්ථක එකක් විය. ඒ අනුව නබිතුමා කදිජා තුමිය ජිවතුන් අතර සිටින තාක් කල් වෙනත් විවාහයක් සිදු කර ගත්තේ නැත. එම විවාහයෙන් කදිජා තුමියට පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් සිව් දෙනෙකු ලැබුනේය. එම පිරිමි දරුවන් දෙදෙනා කුඩා කාලයේදීම කළුරිය කළෝය. ෆාතිමා හැර අන් සියලුම ගැහැණු දරුවන්ද නබිතුමා ජිවතුන් අතර සිටින කාලයේදීම කලුරිය කළෝය. නබිතුමාගේ වයස 53 දී කදිජා තුමියද කලුරිය කළාය. ඉන් පසු නොයෙකුත් හේතුන් මත නබිතුමා වෙනත් විවාහයන් සිදු කර ගත්තේය. එසේ විවාහ වූ භාර්යාවන් අතරින් අයිෂා රලි තුමිය හැර අන් සියලුම දෙනා වැන්දඹු කාන්තාවන් වුවෝය.
නබිතුමා උපදින විට අරාබියාව තුල පැවතියේ ගෝත්රික සමාජ ක්රමයකි. ඒ අනුව සැම විටම ගෝත්ර අතර සටන් පැවතියේය. එදා කාන්තාවන්ට නිසි පිළිගැනීමක් තිබුනේ නැත. ඒ අනුව ඔවුන්ව වහල් වෙළඳාමේ විකුණනු ලැබුවේය. තවද, ගැහැණු දරුවන් ඉපදීම අවමානයක් ලෙස සැළකු ඔවුන් කුඩා කාලයේදීම ගැහැණු දරුවන්ව පන පිටින් වළලනු ලැබුවෝය. තවද, මත්පැන් පානය කිරීමත් අනාචාරයේ හැසිරීමත් ඔවුන්ට සාමාන්ය දෙයක් විය. මෙවැනි තත්වයක් තුල ඔවුන්ට නිසි මග පෙන්වීම සඳහා මුහම්මද් නබිතුමා පැමිණියේය.
සමාජයේ පැවති සදාචාරාත්මක පරිහානිය පිළිබඳව කනස්සල්ලට පත්ව සිටි නබිතුමා, අසල පිහිටි ගුහාවක හුදෙකලාව කාලය ගත කිරීමේ පුරුද්දක් ඇති කරගෙන සිටියේය. එසේ සිටින සමයේදී ජිබ්රිල් දෙවුතයා ඔහුට මුල්ම කුර්ආන් පාටය ගෙනවිත් දුන්නේය. එතැන් පටන් වසර 23 ක් පුරා කොටස් වශයෙන් මුළු කුරානයම නබිතුමා හට පහළ විය.
නබිත්වයෙන් පසු නබිතුමා ජනතාවගේ කෘර වඳ හිංසා වලට මුහුණ පෑවේය. ආරම්භයේදී ඉතා සුළු පිරිසක් හැර එතුමාගේ ඇරයුමට කන් දුන්නේ නැත. එහෙත් දිනෙන් දින එතුමාගේ අනුගාමිකයින්ගේ සංඛ්යාව වර්ධනය විය. කෙසේ වෙතත් වසර 13 ක් වැනි කෙටි කාලයකදී මුළු මක්කා නගරයම එතුමාගේ අණ සකට යටත් විය. එහෙත් එතුමා කිසිවෙකුගෙන් පළිගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් සියලු දෙනාටම පොදු සමාව පිරි නැමුවේය.
කල් යැමත් සමග කුරානයේ මහිමයෙන් ගෝත්ර වශයෙන් බෙදී වෙන්වී සිටි ජනතාව එක්සේසත් විය. කිසිම පිළිගැනීමක් නොමැතිව සිටි කාන්තාවන් සඳහා දේපල අයිතිවාසිකම් මෙන්ම තවත් පොහෝ වරප්ප්රසාද ලබා දුන්නේය. මතට ලොල්ව සිටි ජනතව සුරාවෙන් සහ සුදුවෙන් ගලවා ගත්තේය. ගෝත්ර වශයෙන් බෙදී වෙන්වී සිටි ජනතාව සඳහා රාජ්ය පාලනයක් හඳුන්වා දුන්නේය. එපමණක් නොව ඉතා කෙටි කාලයක් තුලදී අරාබි ජාතිකයින් ලෝකයේ ඉතා ශ්රේෂ්ඨ ජාතියක් බවට පත් විය.
අනෙකුත් නබිවරුන් මෙන්ම මුහම්ම් නබි තුමාද බොහෝ ප්රතිහාරයන් සිදු කළේය. ඉන් ප්රධාන තැනක් ගන්නේ එතුමාගේ මිහ්රාජ් ගමනයි. එම ගමනේදී එතුමා මක්කාවේ සිට ජෙරුසලමටත් එතැන් සිට අහස් සිසාරා අල්ලාහ් වෙත ගොස් එක් රැයකදී නැවතත් භූමියට පැමිණියේය. එම ගමනේදී නබිතුමා අහස් හතක් පසුකරගෙන ගිය අතර, එක් එක් අහසේදී මෙලොවට පැමිණ මිය ගිය නබිවරුන්ව මුණ ගැසී ඇත. තවද, ස්වර්ගය සහ නිරය සියැසින් දැක ගෙන තිබේ. එම ගමන නිම කොට පැමිණෙන විට පංච කාල සලාතය පිලිබඳ නියෝගය ද රැගෙන ආවේය.
අල් කුරානය මුහම්මද් නබි තුමාට ලැබුණු ජීවමාන ප්රාතිහාරයකි. එය මුළු මතත් මිනිස් වර්ගයාටම යහ මග පෙන්වීම සඳහා පහළ කරන ලද්දකි. පිටු 600ක් පමණ ඇති කුරානය කිසිම වැරැද්දක් නොමැතිව සම්පුර්ණයෙන් කටපාඩම් කල හාෆිස් වරු මිලියන සංඛ්යවක් ලොව පුරා සිටීම විශේෂත්වයකි. කුරානය වැනි කෘතියක් මෙතෙක් කිසිවෙකුට සම්පාදනය කිරීමට හැකිවී නැත.
මුහම්මද් (ﷺ) තුමාගේ ශ්රේෂ්ටත්වය මුස්ලිම් විද්වතුන් අතර පමණක් නොව මුස්ලිම් නොවන විද්වතුන් අතරද දැකිය හැකිය. ඒ අනුව කිතුනුවකු වන මයිකල් එච් හාට් විසින් පල කොට ඇති "100 most influential people in the world" යන කෘතිය තුල මුලටම සඳහන් කොට තිබෙන්නේ මුහම්මද් (ﷺ) තුමාගේ නම වීම විශේෂත්වයකි.
මුහම්මද් නබි තුමා මුළු ලෝකවාසී ජනතාව වෙනුවෙන්ම පහළ වූ නබිවරයෙකු වේ. එසේම, එතුමාට පහළ වූ කුරණය අරාබි ජනතාවට හෝ මුස්ලිම්වරුන්ට පමණක් අයත් එකක් නොවේ. එය මුළු මහත් ලෝකවාසී ජනතාව වෙනුවෙන් නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා අල්ලාහ් විසින් පහළ කරන ලද්දකි.
අදවන විට ලෝකයේ වේගයෙන්ම ව්යාප්ත වන දහම බවට ඉස්ලාම් පත්වී ඇත. ඒ අනුව ලෝක ජනග්රහණයෙන් 1/3 ක් පමණ මුස්ලිම් වරුන් වෙති.
By Fasy Ajward.B.Sc (Physics Special) Hons.Japura.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments
Post a Comment