සාතන් කව්ද? ඔහුගේ අරමුණ කුමක්ද? (Who is Satan? What is his purpose?)
සාතන් යනු ගින්නෙන් මවන ලද ජින් කුලයට අයත් වූ ජීවියෙකි. ජින් වරුන්ටත් මිනිසාට මෙන්ම ස්වයං තීරණ ගැනීමට හැකි වීම විශේෂත්වයකි. එහෙත් දේවදුතයින් දෙවියන්ගේ අණට සෑම විටම අවනත වෙති. කෙසේ වෙතත්, සාතන් දේවදුතයින් සමග ස්වර්ගයේ වාසය කළේය. එසේ තිබියදී ඔහුව ස්වර්ගයෙන් නෙරපීමට හේතුවක් වුයේ ඔහු ආදම් තුමාට නමස්කාර නොකිරීම ය. මේ නිසා ඔහුගේ එකම අරමුණ ආදම්ගේ දරුවන් ස්වර්ගයට යෑමෙන් වැළැක්වීම වේ. සාතන් සම්බන්දයෙන් කුරානයේද, බෛබලයේද, යුදෙව් ආගමික ග්රන්ථවලද අනතුරු හඟවා තිබේ.
ආදම් තුමාව මැව්වේ ජින්වරුන්ව මවා බොහෝ කාලයකට පසුව ය. එසේ තිබියදී මැටියෙන් මවන ලද ආදම් තුමා හට නමස්කාර කරන ලෙස අල්ලාහ් දේවදුත්යින්ට අණ කළේය. සාතන් හැර සියලුම දෙවදුතයින් එම නියෝගය ඉටු කළහ. එවිට අල්ලාහ් සාතන් නමස්කාර නොකර සිටීමට හේතුව ප්රශ්න කළේය. එවිට සතන් මෙසේ පිළිතුරු දුන්නේය. "මා ඔහුට වඩා උසස් වෙමි, නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා තිබේ". සාතන්ගේ මෙම උඩඟු කම නිසා ඔහුව ස්වර්ගයෙන් නෙරපන ලදී. "(අහෝ ඉබ්ලීස්) මෙම (සවර්ගයෙන්) නුඹ බැස යනු, උඩඟුකම පෙන්වීමට මෙය තැන නොවේ. එහෙයින් පිටවනු, නියතව නුඹ නිචත්වයට පත්වූවන්ගෙන් කෙනෙකු වන්නෙහිය"
සාතන්ව ස්වර්ගයෙන් නෙරපන විට ඔහු ලෝකය පවතින තෙක් ජිවත් වීම සඳහා වරමක් ඉල්ලා සිටියේය. ඔහුට එම වරම පිරිනමන ලදී. ඉන් පසු ඔහු මෙවැනි ප්රතිනඥාවක් සිදු කළේය. "නුඹ මාව නොමගෙහි යැවු හේතුවෙන් ඔවුනට එරෙහිව නුඹගේ ඍජු මාර්ගයෙහි මා හිඳ ගනිමි. පසුව ඔවුන්ගේ ඉදිරිපසින්ද පිටුපසින්ද, ඔවුන්ගේ දකුණු පසින්ද වම් පසින්ද ඔවුන් හමුවට පැමිණෙන්නෙමි, එවිට ඔවුන්ගෙන් වැඩිදෙනෙකුව ස්තුතිවන්තයින් ලෙස නුඹ නොදකින්නේහි යැ'යි පැවසිය". කෙසේ වෙතත් අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබා සත්ක්රියාවන් කරන අය කෙරෙහි ඔහුට බලයක් නැති බව අල්ලාහ් කිවේය. "කවරෙක් අල්ලාහ් කෙරෙහි පුර්ණ ලෙස විශ්වාසය තබන්නේද ඔවුන් කෙරෙහි ඔහුට (සාතන්ට) කිසිඳු බලයක් නැත" (කුරානය 16:99).
ආදම් හව්වා යුවල වාසය කලේ ස්වර්ගයේ ය. ඔවුන්ට එහි සෑම නිදහසක්ම තිබුනත් එක්තරා ගසක ගෙඩි අනුභව කිරීම පමණක් තහනම් කොට තිබුනේය. "ඕ: ආදම්! නුඹද නුඹගේ බිරියද මෙම ස්වර්ගයෙහි වාසය කරමින් කැමති දෙයක් අනුභව කරනු; එහෙත් නුඹලා දෙදෙනාම මෙම ගසට ලං නොවනු. එසේ කලේ නම් නුඹලා අපරාදකරුවන්ගෙන් කෙනෙක් වන්නේය". එසේ තිබියදී සාතන් ඔවුන් දෙදෙනා වෙත ගොස්, "නුඹලා දේවදුතයින් දෙදෙනෙකු ලෙස නැත්නම් ස්ථිරව සිටිනු මිස නුඹගේ සමිදුන් නුඹව මින් වැළැක්වුයේ නැතැ'යි පැවසුවේය. තවද, "නියත වශයෙන්ම මම නුඹලා දෙදෙනාටම අවංක උපදෙස් ලබා දෙන්නෙකු වෙමියි දිව්රා කිවේය" කෙසේ වෙතත්, සාතන් ඔවුන් දෙදෙනාගේ සතුරෙකු බවත් ඔහුගෙන් ප්රවේසම් වන ලෙසත් දැනුම් දී තිබුනේය. "ඕ:ආදම්! 'නියතවශයෙන්ම මොහු නුඹටද, නුඹගේ බිරියටද සතුරෙක් වන්නේය. එබැවින්, ඔහු නුඹලා දෙදෙනාව මෙම ස්වර්ගයෙන් පිටමං කිරීමට ඉඩ නොතබනු. එසේ වුයේ නම් නුඹ අභාග්යයවන්තයෙකු වනු ඇතැ'යි අපි පැවසුවෙමු" කෙසේ හෝ සාතන්ගේ රැවටීමට හසුවූ එම දෙදෙනා තහනම් කල ගසේ ගෙඩි රස විඳීම හේතුවෙන් ඔවුන්ගේ නිරුවත හෙළිවිය. "පසුව (සාතන්) එම දෙදෙනාවම රවටා ගත්තේය. ඒ අනුව ඔවුන් එම ගසෙහි (ගෙඩි) රස විඳින විට එම දෙදෙනාගේම රහසංග එම දෙදෙනාටම හෙළි විය. (එවිට) ඔවුන් දෙදෙනා ස්වර්ගයේ කොළවලින් ඔවුන්ව වසා ගැනීමට උත්සාහ කළහ. (එම අවස්ථාවේදී) ඔවුන්ගේ සමිඳුන් ඔවුන් අමතා, 'නුඹලා දෙදෙනාටම මෙම ගස කෙරෙන් මා වැලැක්වූයේ නැද්ද? තවද සාතන් නියත වශයෙන්ම නුඹලාගේ සතුරා බව මා පැවසුවේ නැද්දැ'යි ඇසුවේය"
ආදම් හව්වා යුවල පමණක් නොව සාතන්වද ස්වර්ගයෙන් පිටමං කරන ලදී. "නින්දාවට පත්කරනු ලැබුවෙකු ලෙසත් ශාප කරනු ලැබුවෙකු ලෙසත් මෙතැනින් පිට වනු. ඔවුන්ගෙන් කවරෙකු හෝ නුඹව පිලිබදිනවා නම් නියත වශයෙන්ම මම නුඹලා සියල්ලන්ගෙන් නිරය පුරවන්නෙමි"යි කිවේය. මෙවැනි අවවාදයක් කර තිබියදීත් බොහෝ අය සාතන්ගේ අඩිපාරේ ගමන් කරන්නේය. ඒ අනුව බොහෝ අය අල්ලාහ්ව විශ්වාස කරන්නේ නැත. තවත් බොහෝ අය මත්ද්රව්ය වලටත් වෙනත් වැරදි වැඩ වලටත් ඇබ්බැහි වී සිටිති. ඒ අනුව ඔවුන් ස්වෙජ්ජාවෙන්ම නිරයට මග තෝරාගෙන තිබේ.
ලෞකික ජිවිතය තුල මිනිසාව නියමිත කාලයක් දක්වා පරික්ෂා කරන්නේය. "(මෙතනින්) බසිනු, නුඹලාගෙන් සමහරු (තවත්) සමහරුන්ට සතුරන් වන්නෝය. නුඹලාට පොළොවෙහි නියමිත කාලයක් දක්වා වාසය කිරීමටත් ආස්වාදයක් ලෙසත් පත් කොට ඇත්තෙමු. (තවද) නුඹලා එහි වාසය කරන්නෝය. නුඹලා එහි මිය යන්නෝය. එහි සිටම නුම්බළාව නැවත නැගිටවනු ලබන්නෝය". "ආදම්ගේ දරුවනි! නුඹලාගේ රහසිගත පෙදෙස වැසීම පිණිසද අලංකාරයක් ලෙසද වස්ත්ර පහළ කර ඇත්තෙමු. එහෙත් තක්වා (හෙවත් බිය බැති කම) නමැති වස්ත්රය වඩාත් ශ්රේෂ්ට වේ. මේවා ඔවුන් උපදෙස් ලැබීම පිණිස අල්ලාහ්ගෙන් ලැබුණු වැකි වේ" තවද "ආදම්ගේ දරුවනි, සාතන් නුඹලාගේ දෙමව්පියන් දෙදෙනාගේ රහසිගත පෙදෙස් පෙන්වීම පිණිස ඔවුන්ගේ වස්ත්ර ඉවත් කොට ඔවුන්ව සවර්ගයෙන් පිටමං කල ආකාරයට නුඹලාවද ව්යාකුලත්වයෙහි නොගිල්විය යුතුය. නියත වශයෙන්ම නුඹලා නුදුටුවත් ඔහුද ඔහුගේ කණ්ඩායමද නුඹලාව බලමින් සිටිති. නියත වශයෙන්ම අපි විශ්වාස නොකරන්නන්ට සතාන්ව මිතුරන් කර ඇත්තෙමු" (කුරානය 7: 12-27).
අල්ලාහ්ගේ වචනයට අකීකරු වූ ආදම් තුමා ඔහු කල වරදට මෙසේ සමාව අයැද සිටියේය. "අපගේ සමිඳුනි! අපි අපටම අපරාද කර ගත්තෙමු. නුඹ අප කෙරෙහි ක්ෂමා කර, අප වෙත කරුණාව නොදැක්වුයේ නම් අපි පාඩු ලැබුවන් වෙමු'යි කීවෝය" මෙම ප්රාර්ථනාව නිසා අල්ලාහ් ඔවුන්ට සමාව පිරිනැමුවේය.
සාතන්ගේ විනාශයට හේතුව ඔහුගේ උඩඟු කම වේ. ඔහු දෙවියන්ගේ අණ නොතකා පසෙන් මවන ලද ආදම් තුමාව පහත්කොට සලකා ඔහුට නමස්කාර කිරීමෙන් වැලකි සිටියේය. ඉන් සිදු වුයේ ඔහුට ජීවිතාන්තය දක්වා ස්වර්ගය අහිමි වීමය. අද බොහෝ අය සාතන්ගේ මාර්ගයේ යමින් දෙවියන් පිලිබඳ සාක්ෂි දැක දැකත් ඔහුව විශ්වාස කරන්නේ නැත. එසේ කරන්නේ ඔවුන්ගේ උඩඟු කම නිසාය. ඔවුන්ට තම පාරම්පරික විශ්වාසයෙන් බැහැර වීම මදි පුංචි කමක් ලෙස සලකන්නේය. ඉන් සිදු වන්නේ ඔවුන්ටත් සදාකල් ස්වර්ගය අහිමි වී යාම ය.
විනිශ්හය දිනයේදී සාතන් ඔහුව අනුගමනය කල සියලු දෙනාවම මග හරින බව මෙම කුර්ආන් වැකියේ සඳහන් කොට ඇත. "විනිශ්චය දෙනු ලැබූ කල, (සාතන් මෙසේ පවසන්නේය) 'නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට සත්ය පොරොන්දුවක් දුන්නේය. මමද නුඹලාට පොරොන්දුවක් දුන්නෙමි; එහෙත් මම නුඹලාට ද්රෝහී වුයෙමි. මට කල හැකි වුයේ ඔබලාව ඇරයුම් කිරීමට මිස වෙනත් කිසිවක් සඳහා බලයක් තිබුනේ නැත, එහෙත් නුඹලා මට ප්රතිචාර දැක්වූයේය. එම නිසා මට දොස් නොකියනු, ඒ වෙනුවට නුඹලා, නුඹලාට ම දොස් පවරාගනු. මට දැන් නුඹලා වෙනුවෙන් උදව් කල නොහැකිය. ඔබලාටද මා වෙනුවෙන් උදව් කල නොහැකිය. නුඹලා මිට ඉහතදී මාව අල්ලාහ් සමග සම කිරීම මා ප්රතික්ෂේප කරමි. ඇත්ත වශයෙන්ම වැරදිකරුවන්ට හිංසාකාරී වේදනාවක්ම ඇත" (කුරානය 14:22).
ආදම් තුමා මනු ලොවට පැමිණියේ සාතන්ගේ උගුලට හසුවීම නිසා ය. මිනිසා මනු ලොවේදීත් සාතන් ගේ උගුල්වලට හසු වුයේ නම් සිදු වන්නේ ඊට වඩා විශාල ඛේදවාචකයකට මුහුණ දීමට වේ. එම නිසා මිනිසා කල යුත්තේ ඔහුට ලැබී ඇති අවස්තාව ප්රයෝජනයට ගෙන අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ අණට කීකරු වී ජිවත් වීම ය. එවිට මතු ජීවිතයේදී නැවතත් ස්වර්ගයට යා හැකි වන්නේය.
By Fasy Ajward. B.Sc.(Physics Special) HonsJapura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path
Comments
Post a Comment