ලෝක විනාශයේ සලකුණු (Signs of the end of the world)


සෑම ප්‍රධාන ආගමකම ලෝක විනාශය ගැන සඳහන් කොට ඇත. එසේම, ඊට පෙර සිදු වීමට නියමිත දේවල් ගැන ආදම් තුමා පටන් අවසාන නබිවරයා දක්වාම අනතුරු අඟවා තිබේ. එම විනාශයෙන් පසු ලෝකය වෙනත් අකාරයකට පත් කරනු ලැබේ. එවිට සුර්යයා පොලවට ඉතා ආසන්නයෙන් පිහිටනු ඇත. 

කුරානයේ දැක්වෙන පරිදි ලෝක විනාශය සිදු වීමට පෙර පොළව බලවත් ලෙස සෙලවීමට ලක් වනු ඇත. තවද, කඳු දුවිලි බවට පත් වන්නේය. අවසාන වශයෙන් දෙවියන් නියම කල දිනයකදී ඉස්රාෆිල් නමැති දේවදුතයා නලාව පිඹීමෙන් පසු සෑම ජීවියෙකුම මරණයට පත් වනු ඇත. මෙම සිද්ධි දාමයෙන් පසු දෙවියන් හැර වෙනත් කිසිම ජීවියෙකු ඉතිරි වන්නේ නැත. එම තත්වය කොපමණ කාලයක් දක්වා පවතින්නේදැයි දෙවියන් හැර වෙනත් කිසිවෙකු දන්නේ නැත. ඉන් පසු දෙවියන් සමහර දේවදුතයින්ට ප්‍රාණය ලබා දෙන බව පැවසේ. ඉන් පසු දෙවියන්ගේ අණ පරිදි ඉස්රාෆිල් නමැති දේව දුතයා නැවත නලාව පිඹීමට නියමිතය. එවිට මියගිය සෑම ආත්මයක්ම තමන් සිටින තැනින් නැගිට එන්නේය. ඉන්පසු ඔවුන් සියලු දෙනා දෙවියන් නියම කල ස්ථානයකට එක්රැස් කරනු ලැබේ. එම දිනයට "යව්මුද්දීන්" ලෙසද "යව්මුල් කියාමා" ලෙසද කුරානයේ සඳහන් කොට ඇත.

ලෝක අවසානය ළඟා වෙද්දී, මිනිසුන් දැඩි සදාචාරාත්මක පරිහානියකට ලක් වෙති. මේවා ගැන නබිතුමාගේ හදිස් වල සඳහන් කොට ඇත. දැනටමත් ඒවායින් බොහෝ දේවල් සිදුවී අවසානය. තවද ලෝක අවසානය ලඟා වත්ම නිතර නිතර භූමිකම්පා සිදු වීමට නියමිතය. මෙහි පහත දැක්වෙන්නේ ලෝක අවසානයට පෙර සිදුවීමට නියමිත ඇතැම් දේවල් ය. 
  • ප්‍රයෝජනවත් දැනුම ලෝකයෙන් තුරන් වී නුගත්කම පැතිරෙනු ඇත. 
  • පොත්පත් සහ ලිඛිත දැනුම බහුලව දැකිය හැකි නමුත් ආගමික විද්වතුන්ගේ හිඟයක් ඇති වේ. (අහමද්). 
  • පරදාර සේවනය සහ මෞතුනයෙහි යෙදීම සාමාන්‍ය සිද්ධීන් බවට පත්වේ. (මේ වැනි දේ සිදුවන විට මිනිසා මිට පෙර කිසිදාක නො ඇසූ නො දුටු ලෙඩ රෝග අළුතින් ව්‍යාප්ත වනු ඇත). (බුහාරි, මුස්ලිම්, ඉබ්නු මාජාහ්) 
  • පාලකයින් අනාචාරයේ හැසිරීම බහුල වශයෙන් සිදු වනු ඇත. (ඉබ්නු මාජාහ්). 
  • පරදාර සේවනය සහ මෞතුනයෙහි යෙදීම ප්‍රසිද්ධියේම සිදු කෙරෙනු ඇත. 
  • මත්පැන් භාවිතය බහුලව සිදු වනු ඇත (බුහාරි, මුස්ලිම්). 
  • පිරිමින්ට වඩා ගැහැණුන්ගේ අනුපාතය වැඩිවනු ඇත. (බුහාරි, මුස්ලිම්). 
  • මනුෂ්‍ය ඝාතන බහුලව සිදුවනු ඇත. 
  • කෑදරකමින් කෑම මේසයක් වටා සිටගන්නා ආකාරයට මුස්ලිම්වරුන්ට එරෙහිව ලෝකයේ සිටින විවිද ජාතින් නැගී සිටිනු ඇත. එවිට ලෝකයේ මුස්ලිම්වරු බහුලව සිටියත් ඔවුන් මුහුදේ ඇති පෙන මෙන් වටිනාකමක් නැති ජාතියක් බවට පත්වනු ඇත. 
  • අම්ල වරුසා, වසිනු ඇත (අත් තබරානි, අල් හාකිම්)
  • අවජාතක දරුවන් සුලබ වශයෙන් දැකිය හැකි වන්නේය (අත් තබරානි, අල් හාකිම්). 
  • පොදු අරමුදල් (trust) ලාභ උපයන දේවල් බවට පත් කෙරෙන්නේය (අත් තිර්මිසි, අල් හය්තමි)
  • ලාභාංශ ධනවතුන් අතර පමකන් බෙදා ගනු ඇත, ඒවා දුප්පතුන්ට නොලැබෙනු ඇත (අත් තිර්මිසි)
  • zසකාත් ගෙවීම බරක් වනු ඇත. මසුරුකම රජකරනු ඇත. අකමැත්තෙන් සදකා (තුටුපඬුරු) දෙනු ඇත (අත් තිර්මිසි, අල් හය්තමි)
  • මිනිසුන් මසුරන් බවට පත්වනු ඇත (බුහාරි). 
  • නිතර නිතර හදිසි මරණ ගැන ඇසීමට ලැබෙනු ඇත (අහමද්). 
  • මිනිසුන් ප්‍රසිද්දියේ කුලුපහු මිතුරන් ලෙස පෙනී සිටියත්, රහසිගතව සතුරන් ලෙස ක්‍රියාකරනු ඇත (අත් තිර්මිසි)
  • භාර්යාවන්ට කීකරු වන අතර වැදු මවට අකීකරු වනු ඇත, යහළුවන් සමග කුලුපහවන අතර පියාගෙන් දුරස් වනු ඇත (අත් තිර්මිසි)
  • දේවස්ථානවල උස්හඩින් කතා කරනු ඇත (අත් තිර්මිසි). 
  • දිගු ගමන් කෙටි කාලයකදී සිදු කරනු ඇත. 
  • මිනිසුන් අතරින් නරකම පිරිස පාලකයින් බවට පත්වනු ඇත (අත් තිර්මිසි). 
  • පාලකයන් විසින් පොදු ජනතාව තලා පෙලා රට පාලනය කරනු ඇත (අල් හය්තමි)
  • දෘශ්ටකම් වලට බියෙන් මිනිසා, මිනිසාට ගෞරව කරනු ඇත (අත් තිර්මිසි)
  • ගායිකාවන්  සහ සංගීත භාණ්ඩ ජනප්‍රිය වනු ඇත (අත් තිර්මිසි)
  • ජනතාව කුරානය පිළිපදින බව පවසමින් හදිස් සහ සුන්නාවලින් ඇති වනු ඇත (අබු දාවුඩ්)
  • කාලය වේගවත් වනු ඇත (බුහාරි, මුස්ලිම්)
  • සත්ක්‍රියා දුලභ වනු ඇත (බුහාරි)
  • නිතර නිතර භූමිකම්පාවන් සිදුවනු ඇත. (බුහාරි, මුස්ලිම්)
  • සිව්පාවන් මිනිසුන් සමග කතා කරනු ඇත (අහමඩ්)
  • කාන්තාවන් වස්ත්‍ර ඇන්දත් ඔවුන්ගේ නිරුවත පිටතට දිස්වනු වනු ඇත. මොවුන් නොමග යන අතරම අනෙක් අයවත් නොමග යවනු ඇත (මුස්ලිම්)
  • මිනිසුන් තරඟයට උස ගොඩනැගිලි සැදීමේ උත්සාහයක නිරත වනු ඇත (බුහාරි)
  • පවුල් අතර ඇති බැඳීම් කැඩී යනු ඇත.
  • අහාර පාන බහුලව තිබුනත් ඒවායේ ආශීර්වාදයක් (blessings) නොතිබෙනු ඇත.
  • යුප්‍රටීස් නදියෙන් නිදානයක් මතු වනු ඇත (බුහාරි, මුස්ලිම්)
මෙම සුළු සිදුවීම් වලින් පසු ප්‍රධාන සිදුවීම් ආරම්භ වේ. ඒවා කවරේද යත්, විශාල භුමි කම්පා දෙකක් ඇතිවීම, මහදි තුමාගේ පැමිණීම, ජේසු තුමාගේ නැවත පැමිණීම,  දජ්ජාල්ගේ (Antichrist) පැමිණීම, ආජුද් සහ මාජුද් (Gog and Magog) ගේ පැමිණීම, පෘථිවිය දුමාරයකින් වැසි යාම, දාබ්බතුල් අර්ල් නමැති සත්වයෙක් මතුවීම, සුර්යයා බටහිරින් උදාවීම. මෙම සිදුවීම් වලින් පසු ලෝකය අවසානයට පත් වේ.

මහදි තුමා බිහිවන්නේ යුධ ගිනි දැල් වලින් ලොව වෙලාගෙන ඇති අවදියක දීය. එතුමා පැමිණීමෙන් පසු මිනිසුන් අතර සාමය පතුරවන්නේය. ඉන් පසු ලෝකය සෑම අතින්ම සශ්‍රික වේ. පලදාවන් අධික වේ. කෙසේ වෙතත් නැවතත් ලෝකයේ සාර ධර්ම පිරිහීමට ලක් වනු ඇත.

මහදි තුමාගෙන් පසු දජ්ජාල් සිරියාව සහ ඉරාකය අතර කළාලා යන ස්ථානයෙන් මතු වීමට නියමිතය. ඔහුගේ හිසකෙස් රැලිවැටී ඇති බවත් ඇස් ඉදිරියට නෙරා ඇති බවත් නබිතුමා පැවසුවේය. තවද, ඔහුගේ එක් ඇසක් අන්ද ය. හදිස්වලට අනුව, දජ්ජාල් දින හතලික් ජිවත් වන්නේය. එම කාලය තුල ඔහු ලොව පුරා දැවැන්ත විනාශයක් සිදු කිරීමට නියමිතය. දජ්ජාල්ගේ නළලේ 'කාෆිර්' යැයි කොටා ඇතැයි නබිතුමා පැවසුවේය. මේ හේතුවෙන්, ඔහුව පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකි වේ. දජ්ජාල් පැමිණෙන්නේ මහා ඉඩෝරයක් පවතින කාලයකදී ය. මෙම ඉඩෝරය නිසා මිනිසුන් මහත්සේ පිඩාවට පත්ව සිටිනු ඇත. අල්ලාහ්, දජ්ජාල්ට ලබා දී ඇති බලයෙන් ඔහු අහසට නියෝග කොට වරුසාව වස්සවන්නේය. ඉන් පසු, භුමියට නියෝග කිරීමෙන් එහි බෝග හට ගැනීමට සලස්වන්නේය. මෙම හාස්කම් වලින් පසු අලංකාර තරුණයෙකුව කැඳවා, දජ්ජාල් දෙවියන් බවට පිළිගන්නැයි බල කරන්නේය. එහෙත් එම තරුණයා එම නියෝගය ප්‍රතික්ෂේප කරන්නේය. එවිට දජ්ජාල් එම තරුණයාව තම අතෙහි තිබෙන කඩුවෙන් දෙකට කපා ඝාතනය කරන්නේය. ඉන් පසු එසේ ඝාතනය කල තරුණයාට නැවත නැගිටීමට නියෝග කරන්නේය. එම තරුණයා ද සිනාසෙමින් නැගිටින බව නබිතුමා පැවසුවේය. එසේ නැගිටවීමෙන් පසු දෙවන වතාවටත් දජ්ජාල්ගේ දේවත්වය පිලිගනනා ලෙස එම තරුණයාට දජ්ජාල් නියෝග කරන්නේය. එහෙත් එම තරුණයා දෙවන වරටත් එය ප්‍රත්ක්ෂේප කරන්නේය. මේ නිසා කෝපයට පත්වන දජ්ජාල් නැවතත් එම තරුණයාව ඝාතනය කිරීමට උත්සාහ කරන අතර එය සාර්තක් වන්නේ නැත. මේ හේතුවෙන් ඔහු වෙනත් නගරයකට යන්නේය. දජ්ජාල් යන සෑම තැනම විශාල විනාශයන් සිදු කරන බව නබිතුමා පැවසුවේය. අල්ලාහ් කෙරෙහි දුර්වල විශ්වාසයක් ඇති සියලු දෙනා දජ්ජාල්ව දෙවියන් ලෙස පිළි ගන්නා බව නබිතුමා පැවසුවේය.
 
දජ්ජාල්ගේ පැමිණීමෙන් පසු ජේසු තුමා දෙවදුතයින් දෙදෙනෙකුගේ අත්තටු මත දමස්කස් නගරයට නැගෙනහිරින් පිහිටි මිනාරාව දෙසට පැමිණෙන බව නබිතුමා පැවසුවේය. ජේසු තුමා පැමිණි පසු දජ්ජාල්ව සොයා ගොස් 'බාබු ලුද්' හිදී ඝාතනය කිරීමට නියමිතය.
 
මෙම සිදුවීම් වලින් පසු යාජුජ් සහ මාජුජ් (Gog and Magog) යන කණ්ඩායම් දෙක කඳු මුදුන් වල සිට බැස එන බව සඳහන් වේ. ඔවුන්ගේ පැමිණීමෙන් පසුද විශාල විනාශයන් සිදු කෙරෙන්නේය. 

ලෝක විනාශයට පෙර සිදු වීමට නියමිත අවසාන කරුණ වන්නේ ඉර බටහිරින් උදා වීමයි. එම සිදුවීමෙන් පසු යම් කෙනෙක් ඉස්ලාම් දහම වැළඳ ගත්තත් ඉන් ප්‍රයෝජනයක් අත් වන්නේ නැත. එම අවස්ථාව වන විට ජිවත්වන විශ්වාසවන්තයින් වෙත හමා යන මනරම් සුළඟක් නිසා ඔවුන් සියලුම දෙනාම මිය යන්නේය. ඉන් පසු ඉතිරි වන්නේ දෙවියන්ව විශ්වාස නොකරන අය පමණි. ඒ අනුව ලෝක විනාශය සිදු වන විට එකම විශ්වාසවන්තයෙකුවත් මිහිපිට ඉතිරි වන්නේ නැත.
 
By Fasy Ajward.B.Sc (physics Special)Hons,Japura.
Ex: Research officer at former Scientific and Industrial Research Institute.


https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
අවසානය 

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)