ඉස්ලාමීය අවමංගල චාරිත්‍ර (Islamic Funeral Customs)


ෂරියා නිතිය අනුව රජෙකුට වුවත් කම්කරුවෙකුට වුවත් අවමංගල චාරිත්‍ර එකම ආකාරයට සිදු කරනු ලැබේ. තවද ඒ සඳහා අවශ්‍ය සෑම නීතියක්ම කුරානයෙන් සහ නබිතුමාගේ හදිස් වලින් පෙන්වා දී ඇත. මේ නිසා ඉස්ලාමිය මරණයක් ෂරියාවෙන් පෙන්වා දී ඇති ආකාරයටම සිදු කිරීම අනිවාර්‍ය වේ. 

පස ඕනෑම දෙයක් දිරා පත් කරන මාධ්‍යයක් බැවින් මිනියක් භූමිදානය කිරීම පරිසර හිතකාමී ක්‍රමයක් වේ. මේ නිසා ඉහත සඳහන් කල පරිදි මුස්ලිම්වරයෙකු මිය ගියේ නම් ඔහුගේ දේහය භුමිදානය කරන්නේය. එය නබිතුමා පෙන්වා දී ඇති ක්‍රමය ද වේ. නබිතුමාව අනුගමනය කිරීම මුස්ලිම්වරුන්ට අනිවාර්‍ය වේ. මේ නිසා භූමිදානය වෙනුවට ආදාහනය කිරීම වරදකි. අල් කුරානය මෙසේ පවසා තිබේ. "අපි නුඹලාව එයින්ම (පසෙන්ම) මැව්වෙමු. (නැවතත්) නුඹලාව ඒ වෙතම හරවා යවන්නෙමු. පසුව නුඹලාව නැවත වතාවක් ඉන් පිටතට ගන්නෙමු" (කුරානය 20:55). 

ෂරියා නීතිය අනුව කෙනෙක් මිය ගිය පසු ඉතා කෙටි කාලයක් තුලදී ඔහුගේ දේහය මිහිදන් කල යුතුය. එසේ කිරීම මිය ගිය තැනැත්තාගේ මතු ජිවිතයට ප්‍රයෝජනවත් වන අතර අනවශ්‍ය වියදම් අඩුකර ගැනීමටද හැකි වේ. මේ නිසා කොතරම් ළඟ ඥාතියෙක් වුවත් ඔහුගේ දේහය කපා කොටා එහි කොටස් ඉවත් කර එම්බාම් කරන්නේ නැත. තවද ෂරියා නීතිය අනුව මුස්ලිම්වරයෙකු මිය ගියේ නම් ඔහුට හෝ ඇයට වටිනා ඇඳුම් අන්දවන්නේ ද නැත. එසේම මිල අධික මිනී පෙට්ටි භාවිතා කරන්නේ ද නැත. ඒ වෙනුවට මිලෙන් අඩු සුදු රෙදි භාවිතා කරනු ලබේ. එසේ සුදානම් කරන ලද දේහය ඍජුවම සොහොනේ තැන්පත් කරන්නේය. 

මුස්ලිම්වරයෙකුව භූමිදානය කල ස්ථානයේ ස්ථිර ඉදිකිරීම් සිදු කිරීම තහනම් වේ. මේ හේතුවෙන් එහි ඇති මිනිය දිරා ගිය පසු එම ස්ථානයේම වෙනත් දේහයක් භූමිදානය කිරීමට අවස්තාව ලැබේ. එහි ප්‍රතිපලයක් ලෙස මුස්ලිම්වරුන්ගේ සුසාන භූමිවල ඉඩ නැති ප්‍රශ්නයක් ඇති වන්නේ නැත.

මුස්ලිම්වරයෙකු මියගිය පසු ඔහුගේ නිසල දේහය භූමිදානය කිරීමට පෙර ජලයෙන් නාවා පිරිසිදු කරනු ලැබේ. බොහෝ අවස්ථාවලදී එය සිදු කරනු ලබන්නේ ඥාතින් විසින්මය. අනතුරුව සුදු රෙදිවලින් ඔහුව "කෆන් කිරීම" හෙවත් භූමිදානය සඳහා සුදානම් කරනු ලැබේ. එම ක්‍රියාවන් අවසන් කල පසු ඥාතින්ට සහ හිත මිතුරන්ට දේහය බැලීම සඳහා අවස්තාවක් දෙන්නේය. 

දේහය භූමිදානය කිරීමට පෙර ඔහු වෙනුවෙන් සාමුහික වන්දනයක් සිදු කිරීම සඳහා රැගෙන යන්නේය. එමගින් බලාපොරොත්තු වන්නේ මිය ගිය තැනැත්තාගේ පව් සමා කරන ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමයි. හැකි සෑම විටම මරණය නිවසේ සිට සොහොන් පිටිය වෙත ඥාතින් සහ හිත මිතුරන් විසින් අතින්ම රැගෙන යන්නේය. එහෙත් විශේෂිත අවස්ථාවලදී පමණක් (උදාහරණයක් ලෙස සොහොන් පිටිය නිවසේ සිට ඉතා දුරින් පිහිටා තිබේ නම්) ට්‍රක් රථයක් භාවිතයට ගෙන මරණය ගෙන යන්නේය. ෂරියාව පෙන්වා දී ඇති පරිදි මරණය සොහොන වෙත ගෙන යාමේදී නිහඬ තාවය රැක ගත යුතුය. 

ජනාසාව (මියගිය දේහය) සඳහා සලාතය ඉටු කල පසු කලින් සුදානම් කොට ඇති සොහොනේ එම දේහය තැන්පත් කරනු ලැබේ. ඉන්පසු පැමිණ සිටින අය විසින් එම සොහොනට පස් දමා වසනු ලැබේ. අනතුරුව කැමති අය ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනයක් සිදු කිරීමෙන් පසු එම ස්ථානයෙන් නික්ම යන්නේය. 


By Fasy Ajward.B.Sc(special)Hons,
Ex: Research officer at former Scientific and Industrial Research Institute.


https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/Twitter:-thetrue_path

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)