ඉස්ලාමීය බැංකුවක් සහ ඉස්ලාමීය නොවන බැංකුවක් අතර ඇති වෙනස කුමක්ද? (What is the difference between an Islamic bank and a non-Islamic bank?)
බොහෝ අයට ඉස්ලාමීය බැංකුවක් සහ ඉස්ලාම් නොවන බැංකුවක් අතර ඇති වෙනස වටහා ගැනීමට නොහැකිවී තිබේ. ඒ අනුව ඔවුන් සිතන්නේ මේ බැංකු දෙකෙහි එකම ක්රම අනුගමනය කරන බවයි. එහෙත් මේ බැංකු දෙකෙහි විශාල වෙනසක් තිබේ. ඉස්ලාමිය බැංකු පද්දතිය තුල පොලිය සම්බන්ද වන්නේ නැත. එහෙත් ඉස්ලාම් නොවන බැංකු ක්රියාත්මක වන්නේ පොලිය මත ය. පොළිය යනු ණයට දෙන ලද හෝ නයට ගත් මුදල් සඳහා මුල් මුදලට වඩා වැඩියෙන් ගෙවනු ලබන ගාස්තුව වේ. යම් හෙයකින් නියමිත අවස්ථාවේදී ගිවිස ගත් පොලිය ගෙවීමට නොහැකි වුවහොත් එම පොලිය මත තවත් පොළිය එකතු කරනු ලැබේ.
ඉස්ලාම් දහම තුළ තහනම් කර ඇති ක්රියාකාරකම් අතරින් පොලිය (usury) විශේෂයෙන්ම බරපතල තත්ත්වයක් උසුලයි; මන්ද යත්, එය අත් නොහරින ඕනෑම අයෙකුට එරෙහිව අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් වන මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා යුද්ධ ප්රකාශ කර ඇති බැවිනි. මේ හේතුවෙන් එම බැංකුවල පොලි ගනුදෙනු සිදු කරන්නේ නැත.
කුරානය පහළ වීමට පෙර අරාබියේ පොලිය පදනම් කරගත් ගනුදෙනු බහුලව පැවතුණි. කෙසේ වෙතත්, කුරානය පහළ වීමෙන් පසු එවැනි ගනුදෙනු මෙම කුර්ආන් වැකිය මගින් තහනම් කරන ලදී. "විශ්වාසකලවුනි! නුඹලා අල්ලාහ්ට බිය වන්න. නුඹලා විශ්වාසවන්තයින් නම්, පොලියෙහි ඉතිරිව තිබෙන දේ හැර දමන්න. නුඹලා (එසේ) නොකළේ නම් අල්ලාහ්ගෙන්ද, ඔහුගේ දුතයාගේන්ද යුද්ධ ප්රකාශ කර ඇති බව දැනගන්න. නුඹලා (පොලිය අතහැර අල්ලාහ්ගෙන් ක්ෂමාව ඉල්ලා) මිඳුණු විට නුඹලාගේ සම්පතෙහි මුල් මුදල නුඹලාට හිමිවේ. (මෙමගින්) නුඹලා අපරාධ කරන්නේද; අපරාධ කරනු ලබන්නේද නැත. (ණය වූ) ඔහු දුෂ්කරතා ඇත්තෙකු නම් පහසුකම් ඇතිවන තෙක් අවස්තාව දිය යුතුය. නුඹලා මේගැන දැනගන්නේ නම් එය සදකාවක් ලෙස අතහැර දැමීම නුඹලාට වඩාත් යහපතක් ම වේ" (කුරානය 2:278-280).
පොලිය අත් නොහරින අය සදාකල් නිරයේ සිටිනු ඇත. තවද ඔවුන්ට නිරයේ දැඩි වේදනාව ඇත. "පොලිය අනුභව කරන්නෝ සානත් විසින් ස්පර්ශ කරනු ලැබූ උමතුවෙකු මෙන් මිස (මරණයෙන් පසු එලොවේදී) නොනැගිටින්නෝය. වෙළඳාම පොලියට සමකිරිම මෙයට හේතුවයි. එහෙත් අල්ලාහ් පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කළේය. කවරෙකු තම සමිඳුන්ගෙන් උපදෙස් ලැබුණු පසු පොලිය හැර දමයිද ඔහු කලින් ගත් දෙයට දඬුවම් කරනු නොලැබේ. ඔහුගේ කාර්යය අල්ලාහ් වෙතම ඇත. කව්රුන් (පොලිය දෙසට) හැරෙන්නෝද ඔවුහු නිරා වැසියෝ වෙති. ඔවුහු එහි සදාකල් සිටින්නෝය" (කුරානය 2:275).
මේ හේතුවෙන් ඉස්ලාමිය බැංකුවක මුදල් තැන්පත් කල විට එම මුදල් යම් ව්යාපාරයක ආයෝජනය කොට ලැබෙන ලාභය; මුදල් තැන්පත් කල පුද්ගලයා සමග කලින් ගිවිස ගත් අනුපාතය මත බෙදා ගනු ලැබේ. තවද, කෙනෙකුට නිවසක් හෝ වාහනයක් මිල දී ගැනීමට අවශ්ය නම් ඒ සඳහා බැංකුවෙන් මුදල් නොදෙන අතර එම වාහනය හෝ නිවස බැංකුවෙන් මිලදී ගෙන ෂරියා ක්රමය අනුව අවශ්ය කෙනාට පවරා දෙනු ලැබේ. ඇතැම් අවස්ථාවලදී මෙම ක්රමය නිසා කෙනෙකුට වෙනත් බැංකුවකින් කරන ගනු දෙනුවකට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදු වනු ඇත.
ෂරියා නිතිය තුල ගනුදෙනු කිරීමේදී ඇතැම් නීති පිළිපැදිය යුතුය. ඒ අනුව රත්රන්, රත්රන් සමග ගනු දෙනු කිරීමේදී ද රිදී, රිදී සමග ගනු දෙනු කිරීමේදීද රට ඉඳි, රට ඉඳි සමග ගනු දෙනු කිරීමේදීද අත්පිට මුදලට සිදු විය යුතුය. තවද යම් භාණ්ඩයක් මිලදී ගැනීමෙන් පසු එම භාණ්ඩය තම සන්තකයට රැගෙන යන තුරු නැවත විකිණීම තහනම් වේ.
යම් භාණ්ඩයක් මිල දී ගත් පසු එම භාණ්ඩය එම ස්ථානයේ තිබියදීම තවත් කෙනෙකුට විකිණීමෙන් එහි මිල හේතුවක් නොමැතිව ඉහළ යාමට බලපෑ හැකිය. උදාහරණයක් ලෙස යම් කෙනෙක් මිලදී ගත් භාණ්ඩය එම ස්ථානයේ තිබියදීම තවත් කෙනෙකුට අළෙවි කලේ යැයි සිතන්න. එවිට, එසේ මිලදී ගත් තැනැත්තා එය නැවතත් තවත් කෙනෙකුට විකිණු විට එහි මිල ඉහළ යන්නේ නිසි වෙළඳාමකින් නොවේ. එම භාණ්ඩය එකම තැන තිබියදී කොපමණ වාර ගණනක් ගනු දෙනු සිදු කලත් ඉන් සිදු වන්නේ මුදලට, මුදල් ගනු දෙනු කිරීමක් පමණි.
ෂරියා නිතිය අනුව, පොලියට දීම, පොලියට ගැනීම, ඊට සාක්ෂි දීම සහ ඒවා සටහන් කිරීම තහනම් වේ. මෙම හදිසය තුලින් එය පෙන්වා දී තිබේ. "පොලී ගත් තැනැත්තාටත් එය ගෙවූ තැනැත්තාටත් ඒ වෙනුවෙන් සාක්ෂි දුන් දෙදෙනාටත් ශාප වේ, තවද ඔවුන් සියල්ලෝම පවින් එක සමානය" දැනුම් දෙන්නේ ජාබීර් රලි තුමාය.
ධනවත් රටවල් විසින් දිළිඳු රටවල් වලට ප්රධානය කරනු ලබන ණය බර නිසා බොහෝ දිළිඳු රටවල් සදාකාලිකවම ණය බරින් මිරිකී සිටින්නේය. එහි ප්රතිපලයක් ලෙස දුප්පත් රටවල්වල ජාතික අදායමින් විශාල කොටසක් යන්නේ පොලිය ගෙවීම සඳහාය. පොලිය මුල්කරගත් ආර්ථික ක්රමය නිසා ලෝකයේ ඇති ධනවත් රටවල්වලින් 10% ක් ලෝකයේ ඇති සම්පත් වලින් 80% ක්ම අත්පත් කරගෙන ඇත.
By Fasy Ajward. B.Sc(Sp.Phy)Hons.Japura,
Comments
Post a Comment