ඉස්ලාමීය ව්‍යාපාරික ආචාර ධර්ම (Islamic Business Ethics)


ඉස්ලාම් දහම තුල වෙළඳාම ආගමික චාරිත්‍රයක් ලෙස සලකනු ලැබේ. මේ හේතුවෙන් ව්‍යාපාරික ආචාර ධර්ම ඉස්ලාම් දහමේ මූලධර්මත් සමග ඍජුවම බැඳී පවතී. මුස්ලිවරයෙකු වෙළඳාම් කිරීමේදී කුරානයෙන් සහ හදිස්වලින් පෙන්වා දෙන රාමුව තුල සිදු කල යුතුය. සාධාරණ අන්දමින් වෙළඳාම් කරන තැනැත්තාට කුසල් ලැබෙන අතර අසාධාරණ ලෙස හම්බ කරන තැනැත්තාට අකුසල් ලැබෙන්නේය. මේ නිසා ව්‍යාපාරිකයෙකු සෑම විටම අවංකභාවය, සාධාරණත්වය සහ සමාජ වගකීම් රැක ගත යුතුය. මද්යන් වැසියන් හට ශුඅ'යිබ් නබි තුමා මෙසේ පැවසූ බව කුරානයේ සඳහන් වේ. "මාගේ ජනයිනි! කිරුම් මිනුම් කටයුතු සාධාරණව ඉටු කරනු. මිනිසුන්ට (දිය යුතු) ඔවුන්ගේ වස්තුව අඩු නොකරනු. භූමියේ අපරාධ කරමින් සැරිසැරීම් නොකරනු" (කුරානය 11:85). 

අල් කුරානයෙන් පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කොට තිබේ. ඒ සම්බන්දයෙන් කුරානය මෙසේ දන්වා සිටි: "වෙළඳාම පොලිය මෙන්ම වන්නේයැයි ඔවුන් පැවසුහ. එහෙත් අල්ලාහ් පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කොට ඇත" (කුරානය 2:275). මුස්ලිම්වරයෙකු වෙළඳාම් කිරීමේදී හෝ වෙනයම් අවස්ථාවකදී හෝ  පොලියට සම්බන්ද වීමෙන් සම්පුර්ණයෙන්ම වැලකී සිටිය යුතුය. තවද මුස්ලිම්වරුන්ට ෂරියා නීතියෙන් තහනම් කොට ඇති භාණ්ඩ වෙළඳාම් කිරීම තහනම් වේ. ඒ අනුව මත් පැන්, මත්කුඩු, දුම්වැටි, සුකර මාංස, සුනකයින්, සොරකම් කල භාණ්ඩ වැනි දේවල් විකිණීම තහනම් වේ.

දෙවියන්ගේ නාමයෙන් දිව්රා වෙළඳාම් කිරීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත. එවැනි වෙළඳාමක 'බර්කත්' හෙවත් දේව ආශීර්වාදය නැතිවී යන්නේය.  ඒ සම්බන්දයෙන් අබු හුරෛරා රලි තුමා නබිතුමාගේ හදිසයක් මෙසේ දන්වා ඇත. "(ව්‍යාපාරිකයෙක්) දිව්රා ප්‍රකාශ කිරීමෙන් ගැනුම්කරුට තමන් කියන දේ ඒත්තු ගැන්විය හැකි වුවත් එවැනි ක්‍රියාවක් නිසා වෙළඳාමේ 'බර්කත්' නොලැබී යන්නේය".  එවැනි කෙනෙක් කොපමණ හම්බ කලත් සැහීමකට පත් වන්නේ නැත. 

ෂරියා නිතිය අනුව ඇතැම් භාණ්ඩ අත්පිට මුදලට පමණක් වෙළඳාම් කල යුතු ය. ඒ අනුව රත්‍රන් සහ රිදී වෙළඳාම් කිරීමේදී මෙම හදිසය අනුව කටයුතු කල යුතු ය. "අබ්දුර් රහ්මාන් බින් අබි බක්රාට, ඔහුගේ පියා විසින් පවසන ලද හදිසයක් මෙසේ දැක්වේ: රත්‍රන්, රත්‍රන්වලටත් රිදී, රිදිවලටත් සමාන බර මිස අසමාන බරවලින් ගනු දෙනු කිරීම නබි තුමා තහනම් කළේය. කෙසේ වෙතත් රත්‍රන්,  රිදී වලටත් රිදී, රත්‍රන් වලටත් විකිණිය හැකිය". 

භාණ්ඩ වල මිල ඉහළ දැමීම සඳහා කෘතීම හිඟයක් මවා පෑම වෙනුවෙන් භාණ්ඩ සඟවා තැබීම නබිතුමා තහනම් කළේය. මේ හේතුවෙන් කිසිම අවස්ථාවක භාණ්ඩ ළඟ තබාගෙන විකිණීම ප්‍රතික්ෂේප කල නොහැකිය. 

ඒකාධිකාරයක් පවත්වා ගැනීමේ චේතනාවෙන් යම් භාණ්ඩයක් අනෙක් වෙළෙඳුන්ගේ අතට යෑමෙන් වැළැක්වීම වරදක් වේ. එවැනි ක්‍රියාවන් නිසා මිල පාලනය කිරීම තනි පුද්ගලයෙකුගේ අතට පත්වන්නේය. එවැනි අවස්ථාවලදී මිල ඉහළ යෑම වැළැක්විය නොහැකිය. මේ හේතුවෙන් එම ක්‍රියාව ෂරියාවෙන් අනුමත කරන්නේ නැත. මිල ඉහල යෑම හැරුණු විට එමගින් අනෙක් වෙළෙඳුන්ට අසාධාරණයක් ද සිදු වේ. 

බොහෝ වෙළඳුන් විකුණන ලද භාණ්ඩයක් නැවත භාර ගැනීමට මැලිකමක් දක්වති. එහෙත් විකුණන ලද භාණ්ඩයක් නැවත ගෙනවිත් දුන් විට එය භාර ගත් තැනැත්තාට නබිතුමා ප්‍රසංසා කොට තිබේ.


By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons,Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.



Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)