කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)
"අසීමිත කරුනාවන්තයාවුද අසම දයාවන්තයාවුද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි). සියලු ප්රසංශා සකල ලෝකයම මවා පාලනය කරන්නාවූ අල්ලාහ්ටමය. (ඔහු) අසීමිත කරුනාවන්තයාය, අසම දයාවන්තයාය. විනිශ්චය දිනයෙහි අධිපති (ඔහුය). (ඕ අල්ලාහ්!) අපි නුඹවම නමදිමු. නුඹගෙන්ම උදවු පතමු. නුඹ අපව ඍජු මගෙහි යවනු මැනව. (එම මාර්ගය කෙසේද යත්) නුඹ කව්රුන් කෙරෙහි දායාදය පිරිනැමුවේද ඔවුන්ගේ මගය. (එය නුඹගේ) කෝපයට ලක්වුවන්ගේද, නොමග ගියවුන්ගේද මග නොවේ"
මෙම පරිජ්ජේදය අල්ලාහ්ට අයත් ඉතා වැදගත් ගුණාංගයන් දෙකකින් ආරම්භ කොට තිබේ. අල්ලාහ්ට එවැනි ගුණාංගයන් නොතිබුනේ නම් වැරදි කරන අයට එවෙලේම දඬුවම් කිරීමට ඉඩ තිබුනේය. මිනිසා කරන වැරදි වලට එවෙලේම දඬුවම් නොකිරීම නිසා කෙනෙකුට අවශ්ය නම් මරණයට පෙර නිවැරදි මාර්ගය වෙත හැරීමට අවස්තාව ලැබෙන්නේය.
කුරානයේ අරමුණ මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීමයි. ඒ අනුව අල්ලාහ්ගේ ඒකීයත්වය සහ ඔහු කෙරෙහි පමණක් විශ්වාසය තබා කටයුතු කිරීම ගැන කුරානය පුරා ඇති කරුණු වලින් පෙන්වා දී තිබේ. කුරානයේ සඳහන් සෑම නබිවරයෙකුම ක්රියා කලේ අල්ලාහ්ගේ ඒකීයත්වය ගැන මිනිසා දැනුවත් කිරීමට ය. ඒ අනුව අල්ලාහ්ගේ ඒකීයත්වය කෙලසමින් ඔහුට වෙනත් දේවල් සමාන කිරීම හෝ ඔහුට දරුවන් සිටින බව පැවසීම විශාල වරදවල් වේ. මේ නිසාම මෙම පරිජ්ජෙදය අවසාන කොට තිබෙන්නේ එවැනි වැරදි කල අය මෙන් අපව පත් නොකරන ලෙස ආයාචනා කිරීමෙන් ය.
මිනිසා කරන සෑම දෙයක් සඳහාම අල්ලාහ්ට වග කිව යුතු බවත් ලෝකය අවසාන වීමෙන් පසුව ඇති විනිශ්චය දිනයේදී සෑම ආත්මයක්ම අල්ලාහ් ඉදිරියේ නවතා විනිශ්චය කරන බවත් කුරානය පෙන්වා දෙන්නේය. මෙම පරිජ්ජේදයෙන් එය තව දුරටත් අවධාරණය කොට ඇත. එම විනිශ්චයෙන් පසු ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය.
නිවැරදි මාර්ගය අත්කර ගැනීම සඳහා අල්ලාහ්ගේ උදව්ව අවශ්ය ය. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම සලාතය ඉටු කිරීමේදී සුරා ෆාතිහාව පරායණය කොට ඍජු මාර්ගය පෙන්වා දෙන මෙන් අල්ලාහ්ගෙන් අයදින්නෝය.
අල්ලාහ්, නබිවරුන්ට පෙන්වා දුන් මාර්ගය නිවැරදි මාර්ගය වේ. අනෙක් අතට යුදෙව්වන් මෙන් නබිවරුන්ව ඝාතනය කිරීමට තැත්කළ අයගේ මාර්ගය හෝ කිතුනුවන් මෙන් ජේසු තුමාව අල්ලාහ්ට සම කිරීමට යාමෙන් මග වරද්දා ගත් අයගේ මාර්ගය හෝ නිවැරදි මාර්ගය නොවේ. කෙසේ වෙතත් එම ප්රාර්ථනය නිසා කිතුනුවන් සමග හෝ යුදෙව්වන් සමග ගනු දෙනු කිරීමට නොහැකි බවක් කියැවෙන්නේ නැත. නබිතුමා මිය යාමට ටික දිනකට පෙර තම පලිහ ඇපයට තබා යුදෙව්වෙකුගෙන් ණයක් රැගෙන තිබීමෙන් එය පැහැදිලි වේ. එපමනක් නොව කුරානයට අනුව යුදෙව් සහ කිතුනු යෞවනියන් සමග විවාහ වීමට පවා මුස්ලිම්වරුන්ට අවසර ලබා දී තිබේ. තවද ඔවුන් විසින් ඝාතනය කල (ඉස්ලාම් දහමින් අනුමත) මාංශ අනුභව කිරීමට පවා කුරානයෙන් අවසර ලබා දෙන්නේය.
ලෞකික ජීවිතයේදී අල්ලාහ් ඔහුගේ කැමැත්ත පරිදි ඕනෑම කෙනෙකුට වස්තුව ලබා දෙන්නේය. එහෙත් කෙනෙකුට ඍජු මාර්ගය පෙන්වා දෙන්නේ ඔහුට එය අවශ්ය නම් පමණි. මේ නිසා නබිතුමා කොතරම් උත්සාහ කලත් ඔහුගේ සුළු පියාට ඉස්ලාම් දහම වැළඳ ගැනීමට භාග්යය උදා වුයේ නැත. එසේම පාරාවෝ, මුසා නබි තුමා ගෙනෙන ලද දහම් පණිවිඩය පිලි නොගත්තද ඔහුගේ භාර්යාව ඉස්ලාම් දහම වැළඳ ගත්තේය. නුහ් නබිතුමා වසර 950ක් මිනිසුන්ට ඉස්ලාම් දහම දේශනා කලත් ඔහුගේ පුත් කන්නාන් එම දහම වැළඳ ගත්තේ නැත. එසේම ලුත් නබිතුමාගේ භාර්යාව ඉස්ලාම් දහම වැළඳ ගත්තේ නැත. මින් පෙනී යන්නේ නබිවරුන්ගේ ඥාතින් වූ පමණින් ඉස්ලාම් දහම සඳහා වරම් නොලැබෙන බවයි.
ඇතැම් උදවිය ඉස්ලාම් දහම වැළඳ ගත්තත් ඔවුන්ට අල්ලාහ් ගැන හෝ කුරානය ගැන හෝ නිවැරදි අවබෝදයක් නැත. මේ නිසා සුළු කරුණකදී පවා තම මමත්වය පෙන්වමින් ඉස්ලාම් දහමේ වැරදි සෙවීමට ගොස් ඉන් ඉවත් වන්නේය. ඉන් සිදු වන පාඩුව ඔවුන්ට මිස අල්ලාහ්ට නොවේ. කෙසේ වෙතත් කෙනෙක් ඉස්ලාම් දහම වැළඳ ගත යුත්තේ අල්ලාහ් ගැන නිවැරදි අවබෝදයකින් ය. එසේ නොවන්නට ඔහුගේ ඉස්ලාම් දහමින් කිසිම ප්රයෝජනයක් නැත.
By Fasy Ajward.B.Sc(Physics Special)Hons, Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
.
Comments
Post a Comment