ඉස්ලාම් දහම තුලට නව කොටස් එකතු කළ නොහැක්කේ ඇයි? (Why innovations cannot be added to Islam?)


ඉස්ලාම් යනු මිනිසා විසින් නිර්මාණය කරන ලද ආගමක් නොවේ; එය අල්ලාහ් විසින් පහළ කරන ලද්දකි. එබැවින්, එහි ඇති ඉගැන්වීම් මිනිසාට වෙනස් කළ නොහැක. එහි ප්‍රතිඵලයක් ලෙස, මුහම්මද් නබිතුමාට පහළ වූ ඉස්ලාම් දහම අදටත් ලිඛිත වශයෙන් සුරක්ෂිතව පවතී. තවද මුහම්මද් නබිතුමාගේ ජිවිත කාලය තුලදීම එම දහම සම්පුර්ණ කෙරුණේය. එම කරුණ, මෙම කුරආන් වැකියෙන් තහවුරු කොට ඇත. “අද දින, මා නුඹලාගේ දහම නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි. තවද, මාගේ දායාදයද නුඹලාට සම්පුර්ණ කෙරුවෙමි, තවද මා ඉස්ලාමය නුඹලාට ආගම ලෙස පිලිගනිමි” (කුරානය 5:3). මේ නිසා ලෝකය පවතින තුරු ඉස්ලාම් දහමෙහි කිසිම වෙනසක් කල නොහැක.

ලිඛිත වශයෙන් ඉස්ලාම් දහම සුරැකි තිබුනත් ඇතැම් උදවිය දහමේ නාමයෙන් ඉස්ලාම් දහමේ උගන්වා නැති දේවල් පින් බලාපොරොත්තුවෙන් සිදු කරති. එහෙත් ඉස්ලාමිය ඉගැන්වීම් අනුව එය විශාල වරදකි.

නබිතුමා පෙන්වා නුදුන් සියලුම ඇදහිලි නොමග ගිය දේවල් බව නබිතුමාගේ හදිස්වලින් පෙන්වා දී තිබේ. අරාබි භාෂාවෙන් මේවා *බිදඅ'ත්* යැයි හඳුන්වනු ලැබේ. බිදඅ'ත් සම්බන්දයෙන් නබිතුමා මෙසේ පවසා තිබේ. "කව්රුන් හෝ මේ දහම තුලට අලුතින් දෙයක් එක්කළේ නම් එය දහමේ අංගයක් නොවන සෑම විටම ප්‍රතික්ෂේප කල යුතුය" (බුහාරි 2550, මුස්ලිම් 1718). තවත් හදිසයක මෙසේ දැක්වේ. "දහමට අලුතින් එක්කරන සියලුම ඇදහිලි නොමග ගිය දේවල් වන අතර නොමග ගිය සියලුම දේ නිරයට වේ". 

ඇතැම් අය බිදඅ'ත් යන පදය වරදවා තේරුම් ගෙන තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස කුරානය, පොතක් ලෙස සකස් කිරීමත් බිදඅ'ත් කරුණක් ලෙස සලකති. එහෙත් එවැනි දෙයක් සිදු කිරීම නිසා දහමට අලුත් ඇදහිල්ලක් ඇතුළත් නොවන බව වටහාගත යුතුය. ඉස්ලාම් දහමින් තහනම් කොට තිබෙන්නේ නබිතුමා පෙන්වා නොදුන් අලුත් ඇදහිලි දහම ලෙස සැලකීම පමණි. 

බොහෝ අය බිදඅ'ත් දේවල් කරන්නේ අල්ලාහ්ට සමීප වීම සඳහා ය. එහෙත් ඉන් සිදු වන්නේ අල්ලාහ්ගෙන් දුරස් වීම ය. එක් හදිසයක දැක්වෙන අන්දමට, බිදඅ'ත් ක්‍රියාවන් සිදු කරන අයට නබිතුමාගේ හව්සුල් කව්සර් ජල තටාකය වෙත පිවිසීමට හෝ ඉන් ජලය පානය කිරීමට හෝ ලැබෙන්නේ නැත. එක් හදිසයක දැක්වෙන අන්දමට, විනිශ්චය දිනයේදී එක් කණ්ඩායමකට හව්සුල් කව්සර් ජල තටාකය වෙත යෑමට ඉඩ නොදී දේවදුතයින් විසින් වලක්වනු ලබන්නේය. එවිට, නබිතුමා ඔවුන්ව පලවා හරින්නේ කුමන හේතුවක් නිසා දැයි විමසනු ඇත. ඊට පිළිතුරු දෙන දේවදුතයින් පවසන්නේ ඔවුන් නබිතුමාගේ අභාවයෙන් පසු ඉස්ලාම් දහම තුලට අලුතින් කොටස් එකතු කල අය බව යි. එම පිළිතුර ඇසීමෙන් නබිතුමා ද ඔවුන්ව පලවා හරින්නේය. 

ඇතැම් දේවල් දහමට අලුත් වුවත් ඒවායින් අකුසල් සිදු වන්නේ නැත. උදාහරණයක් වශයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කොට අසාන් පැවසීම, කුරානය හෝ හදිස් ග්‍රන්ථ CD තැටිවල ලියා තැබීම, ඔටුවන් වෙනුවට යාන වාහන වල ගමන් කිරීම පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත් යම් කෙනෙක්, එවැනි දේවල් වලට කුසල් ලැබෙන බව පවසන්නේ නම් ඔහු එය දහමේ කොටසක් බවට පත් කර ගන්නේය. දහමේ මුලාශ්‍ර නොමැතිව එසේ කිරීම දෙවියන්ගේ කෝපයට හේතුවක් වේ.

ඉස්ලාමිය මුලාශ්‍රයන් නොමැතිව බොහෝ  බිදඅ'ත් ක්‍රියාවන් සිදු වන්නේය. උදාහරණ වශයෙන්, සලාතයෙන් පසු සාමුහිකව දුආ ප්‍රාර්ථනාවන් සිදු කිරීම, ෂබාන් මාසයේ පහළොස්වන දිනය විශේෂ කොට සැලකීම, මිහ්රාජ් රාත්‍රිය විශේෂ කොට සලකා උපවාස කිරීම, මළවුන් වෙනුවෙන් දින නියම කරගෙන දාන දීම, අසාන් පැවසීමට පෙර සලවාත් කීම, ජනසාවක් රැගෙන යාමේදී ශබ්ද නගා zසිකර් කිරීම, ජනසාව භූමිදානය කල පසු තල්කින් කියා දීම, එහි රැස්ව සිටින අය විසින් යාසීන් සුරාව පරායණය කිරීම පෙන්වා දිය හැකිය. 

"සලාතුන් නාරියා" ඉතා මෑත කාලයේ බිහිවූ තවත් බිදඅ'ත් ක්‍රියාවකි.. ඇතැම් අය කණ්ඩායම් සෑදී එය 4444 වතාවක් පාරායණය කරන්නේ ය. කෙසේ වෙතත්, එවැනි දෙයක් සඳහා  ඉස්ලාමිය මුලාශ්‍රයන් නොමැත. මෙම අලුතින් බිහි කල දේට වඩා නබිතුමා පෙන්වා දුන් සලාතුන් ඉබ්රාහිමියාව පරායණය කිරීමෙන් අධික ලෙස කුසල් රැස්කර ගත හැකි ය. 

සලාතුන් නාරියා බිදඅ'ත් ක්‍රියාවක් පමණක් නොව එහි ශිරක් සම්බන්ද දේවල් ද ඇතුලත් වේ.  එම සලවාතය මගින් නබිතුමාව අල්ලාහ්ගේ තැනට ඔසවා තිබේ. එහි මෙසේ දැක්වේ. "නබිතුමාගේ ශිලයෙන් සියලුම බාදාවන් දුරස් වෙයි, කරදර තුරන් වෙයි, අවශ්‍යතාවයන් ඉටු වෙයි, බලාපොරොත්තු ඉටු වෙයි, හොඳ අවසානයක් ලබා දෙයි". එහෙත් එවැනි දේවල් සිදු කල හැක්කේ අල්ලාහ්ට පමණක් බව මෙම කුර්ආන් වැකියෙන් දැක ගත හැකිය. "නබිවරයානෙනි! ඔවුන්ට මෙසේ පවසනු: නුඹට හානියක් කිරීමට හෝ නුඹලාව නිවැරදි මාර්ගයේ ගෙන එමට හෝ මාගේ ශක්තියෙන් කල නොහැකි යැයි කියනු" 

බොහෝ අය නබිතුමාගේ උපන් දිනය සමරන්නේ එය කුසල් ක්‍රියාවක් යන හැඟීමෙන් ය. එහෙත් එවැනි දෙයක් නබි තුමා හෝ ඔහුගෙන් පසු පැමිණි කලීෆා වරුන් හෝ සහාබා වරුන් විසින් සිදු කොට නැත. ඒ අනුව එය දහමින් ප්‍රතික්ෂේප කරන බිදඅ'ත් ක්‍රියාවක් වේ. 

ස්වර්ගය අත්කර ගැනීමට ඇති පහසුම ක්‍රමය නබිතුමා පෙන්වා දී ඇති කුසල් ඒ අයුරින්ම ඉටු කිරීම වේ. එසේ තිබියදී මිනිසා විසින් ඇතිකළ අලුත් ඇදහිලි, කුසල් යැයි සිතාගෙන සිදු කිරීමෙන් අල්ලාහ්ගේ කෝපයට පාත්‍ර විය හැකිය. එහෙත් සාතන්ට උවමනා කරන්නේ කෙනෙකුව නිවැරදි මාර්ගයෙන් වලක්වා වැරදි මාර්ගය ඔස්සේ ගමන් කරවීම වේ. 


By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Japura.
Ex: Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)