කඃබාවේ ඉතිහාසය (History of Kaaba)
විශ්වයට අධිපති අල්ලාහ් දෙවිදුන්ව නැමදීම සඳහා ස්ථාපනය කරන ලද මුල්ම දේවස්ථානය අල්කඃබාව වේ. එය මුල් වතාවට නිර්මාණය කලේ කව්රුන් දැයි විද්වතුන් අතර නොයෙකුත් මත පලවී තිබේ. ඇතැමුන් පවසන්නේ එය මුල් වතාවට දේවදුතයින් විසින් නිර්මාණය කල බවයි. තවත් සමහරු පවසන්නේ එය ආදම් තුමා විසින් නිර්මාණය කරන ලද බවයි. එහෙත් බොහෝ අය විශ්වාස කරන්නේ එය ඉබ්රාහිම් නබි තුමා විසින් මුල් වතාවට නිර්මාණය කල බවයි.
අබු දර් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදිසයක් මෙසේ වාර්තා කොට ඇත: “අල්ලාහ්ගේ දූතයාණෙනි, පෘථිවියේ මුලින්ම ඉදිකරන ලද පල්ලිය කුමක්ද?” ඔහු “අල්-මස්ජිද් අල්-හරාම්” යැයි පැවසුවේය. “ඉන් පසු කුමක්ද?” ඔහු “අල්-මස්ජිද් අල්-අක්සා” යැයි කීවේය. “ඒ දෙක අතර කොපමණ කාලයක් තිබුණාද?” එවිට ඔහු “වසර හතළිහක්” යැයි කිවේය. (බුහාරි 3186; මුස්ලිම් 520).
මෙම දේවස්ථානය නොයෙක් අවස්ථාවලදී ප්රතිනිර්මාණය කොට තිබේ. ඒ අනුව මුහම්මද් තුමාගේ තරුණ කාලයේදී එක් වරක් එය කුරෙයිෂ් වරුන් විසින් නැවත සාදා ඇත. එම අවස්ථාවේදී හජ්රේ අස්වද් ගල ඊට නියමිත ස්ථානයේ තැන්පත් කිරීම සඳහා මුහම්මද් නබිතුමාව පත් කොට ඇත.
ඉබ්රාහිම් නබි තුමා අල්කඃබාව නිර්මාණය කිරීමේදී නැගී සිටි ගලෙහි එතුමාගේ පාද සලකුණ දැකිය හැකිය. එම ඓතිහාසික ගල කව්බාව අසල ඇති විදුරු පෙට්ටියක තැන්පත් කොට තිබේ. එහෙත් ඊට ඓතිහාසික වටිනාකමක් මිස අධ්යාත්මික වටිනාකමක් ලැබෙන්නේ නැත. එක් අවස්ථාවකදී කලීෆා උමර් රලි තුමා මෙසේ පැවසුවේය. "මෙය නිකම්ම ගලක් පමණි, මෙමගින් මිනිසාට හොඳක් හෝ නරකක් කල නොහැක, කෙසේ වෙතත් නබිතුමා එය සිපගත් හේතුවෙන් මා ද එය සිපගනිමි".
ඉබ්රාහිම් නබි තුමා කඃබාව නිර්මාණය කලේ අල්ලාහ්ට පමණක් නැමදිම සඳහා ය. එසේ තිබියදී කාලයාගේ ඇවෑමෙන් එහි සාස්තෘ වරුන්ගේ පිළිම තැන්පත් කරනු ලැබිය. නබිතුමාගේ සම්ප්රාප්තිය සිදු වන විට එවැනි පිළිම තුන්සිය හැටක් පමණ කඃබාව තුල තබා තිබුනේය.
ඉතිහාසයේ සිටම වසරක් පාසා මෙම දේවස්ථානය වෙත මිනිසුන් පැමිණ දේව මෙහෙයන් සිදු කොට ඇත. එහි පැමිණෙන මිනිසුන් සඳහා වෙළඳ සැල් ඉදිකොට කුරෙයිෂ් වරුන් අදායමක් උපයාගෙන තිබේ. මෙම ආර්ථික වාසි කෙරෙහි සැලකිල්ල යොමුකළ අබ්රහා රජු කඃබාවවට සමාන දේවස්ථානයක් යේමනයේ නිර්මාණය කළේය. එහෙත් ඔහු බලාපොරොත්තු වූ පරිදි එම දේවස්ථානයට සෙනග ගියේ නැත. මේ නිසා අබ්රහා රජු කඃබාව ආක්රමණය කිරීම සඳහා ඇත්සේනාවක් සමග මක්කාවට පැමිණියේ ය. මෙම ඇත්සේනාව සමග සටන් කිරීමට නොහැකි බව තේරුම් ගත් මක්කාවාසින් කඳු මුදුන් වලට නැග ගත්තෝය. එය ප්රයෝජනයට ගත් අබ්රහගේ සොල්දාදුවන් කඃබාවේ භාරකරු වන අබ්දුල් මුත්තලිබ් තුමාගේ ඔටුවන් සියල්ලම කොල්ල කැවෝය.
ආබ්රහගේ සොල්දාදුවන් කොල්ල කන ලද ඔටුවන් ගැන විමසීම සඳහා අබ්දුල් මුත්තලිබ් තුමා ආබ්රහ රජු හමුවීමට ගියේය. අබ්දුල් මුත්තලිබ් තුමාගේ පැමිණීම දුටු අබ්රහ සිතුවේ ඔහු පැමිණෙන්නේ සාම සාකජ්ජාවක් සඳහා බවයි. එහෙත් ආබ්රහ පුදුමයට පත් කරමින් අබ්දුල් මුත්තලිබ් කියා සිටියේ කොල්ල කන ලද ඔහුගේ ඔටුවන් සියල්ල ආපසු බාර දෙන ලෙසයි. ඉන් පුදුමයට පත් අබ්රහා පැවසුවේ ඔහු පැමිණියේ කඃබාව විනශ කිරීමට බවයි. ඊට පිළිතුර වශයෙන් අබ්දුල් මුත්තලිබ් තුමා කියා සිටියේ “මා පැමිණියේ මගේ ඔටුවන් රැගෙන යාම සඳහායි, කව්බාවේ අයිතිකරු අල්ලාහු ත'ආලා බැවින් එය ඔහු රැක ගනු ඇති බවයි”
අබ්දුල් මුත්තලිබ් තුමා පැවසූ අකාරයටම අල්ලාහ් සුබ්හානහු තආලා කඃබාව ආරක්ෂා කළේය. ඒ සඳහා අබාබිල් නමැති පක්ෂි විශේෂයක් යවන ලදී. එම පක්ෂීන් උන්ගේ හොටෙහි රැගෙන පැමිණි කුඩා ගල් කැබලි එම ඇත් සේනාව මත දැමීමෙන් උන් විනාශයට පත්කළේය. මෙය සිදු වුයේ නබිතුමා උපන් වසර වන ක්රි.ව. 570දීය. එය පහත දැක්වෙන කුර්ආන් පරිජ්ජේදයෙන් විස්තර කොට තිබේ.
"(ඕ: නබි!) නුඹගේ පරමාධිපති දෙවියන් ඇත්සෙනාව කෙසේ (විනාශයට පත්) කළේ දැයි නුඹ නොදන්නෙහිද? ඔහු ඔවුන්ගේ කුමන්ත්රණය නිෂ්පල දෙයක් නොකළේද? ඔහු ඔවුන් කෙරෙහි කණ්ඩායම් වශයෙන් පක්ෂින්ව යැව්වේය. ඒවා ඔවුන් මත රත්කරනු ලැබූ ගල් විසි කළේය. එසේ කිරීමෙන්, ඔහු ඔවුන්ව සපා කෑ පිදුරු මෙන් කළේය"
මුහම්මද් නබි තුමා උපදින විට කඃබාව නැවතත් පිළිම වන්දනා කරන ස්ථානයක් බවට පත්ව තිබුනේය. එබැවින් කුරෙයිෂ් වරුන් අල්ලාහ්ව විශ්වාස කලත් එම දේවස්ථානය තුල නොයෙකුත් නම්වලින් යුත් පිළිම තබා ඒවාට නැමදුම් කොට තිබේ. ඒවා හුබාල් (Hubal), ලාත් (Laat), උzස්සා (Uzza), මනාත් (Manath) වැනි නම් වලින් හඳුන්වනු ලැබිය. කෙසේවෙතත් මුහම්මද් නබිතුමා පැමිණි පසු කඃබාව නැවත වරක් ඉබ්රාහිම් නබිතුමාගේ කාලයේ තිබුණු තත්වයට පත් කරන ලදී. අද වන විට ලොව පුරා සිටින මිලියන සංඛ්යාත ජනතාවක් හජ් වන්දනාව සඳහා මෙම සිද්ධස්ථානයට ගමන් කරති.
By Fasy Ajward.B.Sc(Physics Special)Hons, Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment