අධ්‍යාත්මික ජීවිතය සාර්ථක වීමට ඇති පහසුම ක්‍රමය කුමක්ද? (What is the easiest way to succeed in spiritual life?)


පුද්ගලයෙකුගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔහු හෝ ඇය කරන කැපවීම මත ය. එබැවින්, අවශ්‍යතාවයක් තිබේ නම් පහළ මට්ටමේ සිටින සේවකයෙකුට පවා උත්සාහ කලොත් ඉහළට යා හැකිය. මේ සඳහා ඔහු කල යුත්තේ එම රැකියාවේ ඉහල සුදුසුකම් ලැබීමට අවශ්‍ය විභාග සඳහා පෙනී සිට ඒවායින් සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමය. ඒ හා සමානව, යමෙකුට තම අධ්‍යාත්මික ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය නම්, ඔවුන් අල්ලාහ් සමග ඇති බැඳීම වැඩිදියුණු කළ යුතුය. මෙය කල හැක්කේ අල්ලාහ් නියම කොට ඇති දේවල් හරි හැටි ඉටු කිරීමෙන් ය. ඒවා අතරින් විශේෂ තැනක් ගන්නේ සලාතය යි. සලාතයෙන් උපරිම පල නෙලා ගත හැක්කේ එය නබිතුමා ඉටු කල අකාරයට ඉටු කිරීමෙන් ය. ඒ සඳහා දහම ගැන මනා දැනුමක් තිබීම අවශ්‍ය වේ.

සලාතයේ වටිනාකම දන්නේ නම් එය ඕනෑකමින් ඉටු කරනු ඇත. කෙසේ වෙතත් බොහෝ අයට එහි අගය නොදන්නා කමින් සලාතය ඉටු කරන්නේ ඔනෑ එපාවට ය. සමහරු සලාතයේ අවසාන මොහොත දක්වා බලා සිට අලසකමින් එය ඉටු කරති. සමහරු සලාතය ඉටු කරන්නේ ඊට නියමිත කාලය ගෙවී ගිය පසුවය. සමහරුන්ට සලාතය ඉටු කිරීමෙන් පසු කොපමණ රකාත් ගණනක් ඉටු කළේදැයි මතක නැත. හදිසයක දැක්වෙන්නේ මෙම ලක්ෂණ ඇත්තේ මුනාෆික් වරුන්ගේ සලාතයේ බවයි. මෙවැනි සලාතයකින් කුමක් බලාපොරොත්තු විය හැකිද? අල් කුරානයේ එවැනි සලාතයන් ගැන මෙසේ විස්තර කොට ඇත. "නියතව, කුහකයෝ අල්ලාහ්ව මුලා කිරීමට අදහස් කරති.  එහෙත් ඔහු ඔවුන්ව මුලා කරයි. ඔවුන් සලාතය වෙනුවෙන් සිටගන්නේ නම් කම්මැලියන් ලෙසද ජනයාට පෙන්වන්නන් ලෙසද සිටගනිති. තවද, ඔවුහු අල්ලාහ්ව සුළු වශයෙන් ම සිහි කරති" (කුරානය 4:142),

කෙනෙකුගේ සලාතයෙන් උපරිම ප්‍රතිපල ලැබීමට නම් ඔහුගේ අහාර වේල හලාල් විය යුතුය. ඔහුගේ වස්ත්‍ර හලාල් විය යුතුය. එසේ තිබියදී බොහෝ අය එම කරුණ ගැන වැඩි අවදානයක් යොමු නොකරති. ඒ අනුව, ඇතැමුන්ගේ සම්පුර්ණ ව්‍යාපාරයම රඳා පවාතින්නේ පොලිය මතය. සමහර අය වංචනික මූල්‍ය උපාය මාර්ග මගින් ජීවත් වෙති. එහෙත් කුරානය මෙසේ සඳහන් වේ. "විශ්වාස කළවුනි! නුඹලාව නුඹලා විසින්ම (පාපකාරී ක්‍රියාවලින්) ආරක්ෂා කර ගනු. නුඹලා යහ මගෙහි සිටියේ නම් නොමග ගියවුන් නුඹලාට විපත් සිදු කල නොහැක! අල්ලාහ් වෙතම නුඹලා සියලු දෙනා ආපසු යා යුතුය. එවිට ඔහු ඔබ කරමින් සිටි දේ ගැන ඔබලාට දන්වනු ඇත" (කුරානය 5:105).

කෙනෙක් හරියාකාරව තම සලාතය ඉටු කරන්නේ නම්, අල්ලාහ් ඔහුව වැරදි කිරීමෙන් ආරක්ෂා කරන්නේය. මේ නිසා කෙනෙකුට වැරදි කිරීමෙන් ආරක්ෂා වීමට ඇති හොඳම ක්‍රමය සලාතය නිවැරදිව ඉටු කිරීමය. කුරානයේ මෙසේ සඳහන් වේ. "සලාතය ස්ථාපනය කරනු. නියත වශයෙන්ම සලාතය මගින් ලැජ්ජා ශීලි දේවල් වලින්ද, පිළිකුල් සහගත දේවල් වලින්ද වළක්වන්නේය" (කුරානය 29:45).

ඉබ්නු කසීර් ග්‍රන්ථයේ මෙම කරුණ සඳහන් කොට ඇත. අබු හුරෛරා රලි තුමා සඳහන් කරන වග නම්, එක්තරා සහාබිවරයෙක් නබිතුමා වෙත පැමිණ, එක් පුද්ගලයෙක් රාත්‍රී කාලයේදී සලාතය ඉටු කරන බවත් දවල් කාලයේදී සොරකම් කරන බවත් දන්වා සිටියේය. එවිට නබිතුමා පැවසුවේ ඔහුගේ සලාතය මගින් එම ක්‍රියාව වලක්වාලනු ඇති බවයි. ඉන් පෙනී යන්නේ සලාතය හරියාකාරව ඉටු කලේ නම් වැරදි කිරීමෙන් වැළකෙනු ඇති බවයි. මේ නිසා කෙනෙකුගේ එක් එක් වැරැද්ද වෙන වෙනම නිවැරදි කිරීම වඩා පහසු වන්නේ ඔහුගේ සලාතය නිවැරදි කර ගැනීමය. සලාතය නිවැරදි වූ විට ඔහුගෙන් සිදු වන වැරදි වැලකි යන්නේය.

කෙනෙකුගේ සලාතයේ තරම මැනිය හැක්කේ ඔහු ඒ සඳහා කරන අවංක චේතනාව මතය. බොහෝ දුරට එය රඳා පවතින්නේ සලාතය කරන තැනැත්තාත් අල්ලාහ්ත් අතර ඇති බන්දනය මත ය. කෙසේ වෙතත් කෙනෙකු නියමිත වෙලාවට සලාතය ඉටු කිරීම සඳහා දරන කැපවීම තුලින් එය තරමක් දුරට දැක ගත හැකිය.

සලාතයේ තත්වය රඳා පවතිනෙනේ කෙනෙක් අල්ලාහ්ව මෙනෙහි කරන තරම මතය. ඒ අනුව සලාතය සිදු කරන තැනැත්තා ඔහු අල්ලාහ් දිරියේ සිටින බව සිතට ගත යුතුය. තවද, සලාතයේ එක් එක් අවස්ථවන් සඳහා කාලය මිඩංගු කොට, එම අවස්ථවේදී පරායණය කල යුතු ගාථාවන් හැකි තරම් තේරුම් ගෙන සලාතය ඉටු කල යුතුය. එවිට එම සලාතයට වැඩි වටිනාකමක් ලබා ගත හැකිය.

කෙනෙකුට අල්ලාහ් වෙත සමීප විය හැක්කේ අල්ලාහ්, ලබා දී ඇති නියෝග නිසි ලෙස ඉටු කිරීමෙන් ය. ඒවා පසෙක තිබියදී වෙන කුමක් කලත් අධ්‍යාත්මික ජීවිතය සාර්ථක වන්නේ නැත. 

By Fasy Ajward.B.Sc(Physics Special)Hons, Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.




Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)