ඉස්ලාම් ආගමික වතාවන් වලින් ලැබෙන ප්රතිලාභ මොනවාද? (What are the benefits derived from Islamic religious practices?)
ඉස්ලාම් ස්වහාවික දහමකි. එබැවින් එයට අරාබි භාෂාවෙන් "දීන් අල්-ෆිත්රා" (Din al-Fitra) යැයිද කියනු ලැබේ. එම කරුණ අල් කුරානයේ එක් තැනක මෙසේ සඳහන් කොට ඇත. "(මෙය) අල්ලාහ් මිනිසුන්ව නිර්මාණය කර ඇති ඔහුගේ ස්වහාවික ධර්මය වේ" (කුරානය 30:30). මේ හේතුවෙන්, ඉස්ලාම් දහම පිළිපැදීම ස්වහාවික නීති පිළිපැදීම තරම්ම පහසු ය. ඉස්ලාම් දහමින් මිනිසාව තම මැවුම්කරු සමග සමීප කරන්නේය.
ඉස්ලාම් ආගමේ, පවිත්රතාවය සඳහා ඉතා වැදගත් ස්ථානයක් ලබා දී තිබේ. මේ නිසා සෑම අවස්ථාවකදීම තම ශරීරය සහ මනස පිරිසිදුව තබා ගැනීම අනිවාර්ය වේ. එමගින් අල්ලාහ් හට සමීප විය හැකි අතර නිරෝගී ජිවිතයකටද මග පැදෙන්නේය.
ඉස්ලාම් දහම මිනිසාගේ උපතේ සිට මිය යන තුරු සෑම දෙයක් සඳහාම මග පෙන්වා දී තිබේ. ඒ අනුව අලුත උපන් දරුවෙකුට කුඩා කාලයේදීම ච්ර්මජ්ජේදනය සිදු කරන්නේය. එසේ කරන්නේ පිරිසිදු තාවය සඳහාය. තවද, ඉස්ලාමයේදී මුත්රා අපවිත්ර ද්රව්යයක් ලෙස සැලකේ. එබැවින් මුත්රා තැවරුණු කෙනෙක් සලාතය ඉටු කලේ නම් එය වලංගු වන්නේ නැත. මේ නිසා කෙනෙක් මුත්රා කිරීමෙන් පසු තම ලිංගික අවයවය ජලයෙන් පිරිසිදු කිරීම අනිවාර්ය වේ. තවද සලාතය ඉටු කිරීම සඳහා අල්ලාහ් ඉදිරියේ සිට ගැනීමට පෙර වුළු කිරීම අනිවාර්ය ය. වුළු යන්නෙන් අදහස් වන්නේ ජලයෙන් මුහුණ, කට සහ අත්පා සේදීම වේ. කොරෝනා වෛරස් සමයේදී බොහෝ දෙනෙක් එහි වටිනාකම මනාව වටහා ගත්හ.
ඒ අකාරයටම ඉස්ලාම් දහමින් නියමකොට තිබෙන සියලුම ආගමික වතාවන් එනම් - සලාතය, zසකාතය, උපවාසය සහ හජ් - වලින්ද අධ්යාත්මික ප්රයෝජන වලට අමතරව වෙනත් ප්රයෝජන රැසක්ම ගෙන දෙන්නේය. උදාහරණයක් වශයෙන් කෙනෙක් සලාතය ඉටු කිරීම සඳහා මස්ජිදය වෙත යාම පෙන්වා දිය හැකිය. ඔහු එක් සලාතයක් ඉටු කිරීම සඳහා විනාඩි 5ක් මස්ජිදය වෙත ඇවිද ගියේ නම් දිනකට එහි යාමට සහ ඒමට විනාඩි 5x2x5=50 ක කාලයක් නොදැනීම ඇවිදීම කරන්නේය. එය නිරෝගී ජිවිතයකට හොඳටම ප්රමාණවත් ය. එහෙත්, මුස්ලිම් නොවන අය ව්යායාම කිරීම සඳහාම නිශ්චිත කාලයක් වෙන් කරගෙන ඇවිදීම කරති.
කෙනෙක් සලාතය ඉටු කිරීම සඳහා මස්ජිදය වෙත යෑමට තබන පියවරක් පාසා ඔහුගේ එක් අකුසලක් සමා කෙරෙන අතර එක් කුසලක් ඔහු වෙනුවෙන් එකතු කරන්නේය. තවද සලාතයේ ඉරියව් නිසා ශරීරයේ නිසි නම්යශිලිභාවය ඇතිවේ, තවද ඔහු නළල බිම තබා සුජුද් කරන විට මොලයට වැඩියෙන් ලේ ගමන් කෙරෙන අතර මෙලයේ ක්රියාකාරිත්වය වැඩි කරයි. මේ සෑම දෙයකටම වඩා, සලාතය ඉටු කිරීමෙන් කෙනෙක්, අල්ලාහ්ට වඩා සමීප වන්නේය. එපමණක් නොව, සලාතය ස්වර්ගයේ යතුර බව නබිතුමා පවසා තිබේ.
ඉස්ලාම් දහමින් අනිවාර්ය කර ඇති උපවාසය තුළින් ද ආධ්යාත්මික කුසලයට අමතරව මිනිසා වෙනත් බොහෝ ප්රතිලාභ අත්කර ගනී. ඉර උදාවන වෙලාවේ සිට ඉර අවරට යන වෙලාව සැලකීමේදී, ලංකාව වැනි රටක දල වශයෙන්, මුස්ලිම්වරයෙක් පැය 14 ක් පමණ උපවාස කල යුතුය. එම කාලය තුල නිරාහාරව සිටීම නිසා මිනිස් සිරුරේ ඇති අහිතකර කොලොස්ටරෝල් දැවී යන අතර රුදිර සිනි හොඳින් පාලනය වේ. ඇතැම් වෛද්යවරුන් පවසන ආකාරයට උපවාස කිරීම නිසා පිළිකා සෛලවලට නිසි පෝෂණය නොලැබීම හේතුවෙන් විනාශයට පත්වන්නේය. ඒ අනුව උපවාසය යනු කුසලක් මෙන්ම නිරෝගී ජිවිතයක් සඳහා ඉතා වැදගත් දෙයක් ද වේ.
නබිතුමාගේ හදිසයක දැක්වෙන ආකාරයට කෙනෙක් ඉටු කරන උපවාසය පලිහක් ලෙස ක්රියා කරමින් ඔහුව නිරයේ ගින්නෙන් ආරක්ෂා කරන්නේය. තවද උපවාසය සම්බන්දයෙන් මෙසේ ද පවසා ඇත. සෑම යහපත් ක්රියාවක් සඳහාම එම ක්රියාව මෙන් දස ගුණයක් හෝ 700 ය ගුණයක් කුලිය තිබේ. කෙසේ වෙතත් උපවාසය සඳහා කුලිය දෙන්නේ අල්ලාහ් විසින්මය. ඇයිද යත්, උපවාස යනු එය ඉටු කරන තැනැත්තා සහ අල්ලාහ් අතර ඇති රහසිගත දෙයක් නිසාය.
ඉස්ලාම් දහමින් නියම කොට ඇති zසකාත් බද්ද නිසාද විශාල කාර්ය භාරයක් සිදුවේ. එහි ප්රතිපලයක් ලෙස ඇතැම් පිරිස් ළඟ අධික ලෙස එකතුවන ධනයෙන් කොටසක් දුගී දුප්පත් අය වෙත ගලා යෑමට සලස්වා තිබේ. එහි ප්රතිපලයක් ලෙස ඔවුන්ටද යහපත් ජිවිතයක් ගත කිරීමට හැකි වේ. එපමණක් නොව එමගින් මිනිසුන් අතර මිත්රත්වය ගොඩ නැගෙන අතර අල්ලාහ්ගේ ආදරයට පාත්ර වීමට අවශ්ය දොරටු විවෘත වේ. මෙය ලෝකයේ සිටින සියලුම ධනවතුන් විසින් ක්රියාත්මක කරන්නේ නම් ලෝකයේ ඇති දිළිඳු කම සහමුලින්ම තුරන් කල හැකි වනු ඇත.
ලෝකයේ සිටින මුස්ලිම්වරුන් අතර සමානාත්වය පෙන්නුම් කිරීම සඳහා හජ් වන්දනය මගින් ඉතා විශාල මෙහෙයක් ඉටු කරන්නේය. ඒ අනුව ලෝකයේ ඇති සෑම රටකින්ම පැමිණෙන මිලියන සංඛ්යාවක් වන මුස්ලිම්වරුන් සුසු වස්ත්රයෙන් සැරසී වාර්ෂිකව මක්කා නගරයට එකතු වන්නෝය. ඔවුන් සියලු දෙනාම එකම අකාරය පිලි පදිමින් හජ් වන්නනාව ඉටු කරති. මෙවැනි ඉගැන්වීම නොමැති කම නිසා අද බොහෝ අය ලෝකයේ ඇති සම්පත් විනාශ කරමින් අහිංසක ජිවිත සිය දහස් ගණන් ඝාතනය කරමින් යුද්ධ කරති.
කෙසේ වෙතත් ජන මාධ්ය හරහා කෙරෙන වැරදි ප්රචාරයන් නිසා බොහෝ අයට තිබෙන්නේ ඉස්ලාම් දහම ගැන සිතින් මවාගත් භීතියකි. ඊට හේතුව ජනමාධ්ය ඔස්සේ පෙන්වා පෙන්වා දීමට උත්සාහ කරන්නේ ඉස්ලාම් යනු ත්රස්තවාදී දහමක් ලෙසය. එහෙත් කුරානයට අනුව හේතුවක් නොමැතිව සිදු කරනු ලබන එක් මිනිස් ඝාතනයක් සලකනු ලබන්නේ ලෝවැසියන් සියලුම දෙනා ඝතනය කිරීමක් ලෙසය.
ඉස්ලාම් යනු සියලු මිනිස් වර්ගයා වෙනුවෙන් පහළ කරන ලද දහමකි. එබවින් එය හැදෑරීම සියලු දෙනාගේම වගකීමකි. ඉස්ලාම් දහම පහළ කොට තිබෙන්නේ මිනිසාට යහ මග පෙන්වීම සඳහාය. එය නිවැරදිව පිලිපැදීමෙන් ස්වර්ගයට යන මාර්ගය සොයා ගත හැකිවේ.
By Fasy Ajward.B.Sc(Physics Special)Hons, Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment