කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message revealed by God?)


කුරානය අල්ලාහ් විසින්, මිනිස් වර්ගයා හට නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා පහළ කරන ලද පණිවිඩයකි. එහෙත් බොහෝ අය කුරානය ගැන දන්නේ ඉතා අල්ප වශයෙනි. තවත් සමහරුන්ට කුරානය ගැන වැරදි තොරතුරු පමණක් ලැබී තිබේ. ඒ අනුව ඔවුන් විශ්වාස කරන්නේ කුරානය මිනිස් නිර්මාණයක් බවයි. එහෙත් කුරානය මිනිස් නිර්මාණයක් නොවන බවට බොහෝ සාක්ෂි තිබේ. 

කුරානය අනෙක් ග්‍රන්ථ වලට වඩා හාත්පසින්ම වෙනස් ය. එය අල්ලාහ් විසින් මුහම්මද් නබිතුමා වෙත පහළ කරන ලද්දකි. එවැනි කෘතියක් නබිතුමාගේ කාලයේ ජිවත් වූ අයට හෝ ඔහුගෙන් පසු පැමිණි අයට හෝ නිර්මාණය කිරීමට හැකි වී නැත. 

කුරානය පහළ වුයේ මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා වුවද එහි නොයෙකුත් විෂයයන්ට අයත් කරුණු අන්තර ගත වේ. උදාහරණයක් වශයෙන් එහි ව්‍යාපාර ආචාරධර්ම, විවාහය සහ දික්කසාදය, අසල්වැසි ප්‍රේමය, නිතිය, සමාජ ඇසුර, අභ්‍යාවකාශ විද්‍යාව, භුගර්බ විද්‍යව, නාරිවේදය ඇතුළු තව බොහෝ විෂයන්ට අයත් කරුණු ඇතුලත් වේ. තවද, කුරානය පහළ වන යුගයේ දැන නොසිටි බොහෝ ඓතිහාසික සිදුවීම් කුරානය තුල දැකිය හැකිය. එසේම කුරානයෙන් බොහෝ පුරෝකථනයන් සිදු කොට තිබේ. ඒවායින් ඇතැම් දේවල් නබිතුමා ජිවතුන් අතර සිටියදීම සිදුවී තිබේ.

කුරානය මිනිස් නිර්මාණයක් වුයේ නම්, එය පහළ වන යුගයේ දැනනොසිටි විෂයන් ගැන සඳහන් කිරීමේදී වැරදි සිදුවීම කිසිසේත්ම වැළැක්විය නොහැක. එසේ තිබියදී වසර 1450කට පමණ පෙර පහළ කෙරුණු කුරානය තුල කිසිම වැරැද්දක් මෙතෙක් සොයාගෙන නැත. ඒ සම්බන්දයෙන් කුරානය මෙසේ සඳහන් කරයි: "මෙය (කුර්ආන්) පුස්තකය වේ. මෙහි කිසිම සැකයක් නැත"(කුරානය 2:2). ,එවැනි නිර්භීත ප්‍රකාශයක් සිදු කල හැක්කේ එය දිව්‍යමය පණිවිඩයක් වන නිසාය. එහෙත් මිනිසා විසින් ලියන ලද ඕනෑම කෘතියක කාලයත් සමග වැරදි සොයා ගැනීමට හැකිවීම සාමාන්‍ය දෙයකි.

නබිතුමා පාසැල් අධ්‍යාපනයක් ලැබුවේ නැත. එසේ තිබියදී කුරානය වැනි අතිශය ගැඹුරු සාහිත්‍යමය හා භාෂාමය විශිෂ්ටත්වයකින් යුත් කෘතියක් ඔහු විසින් නිර්මාණය කිරීම කිසිසේත්ම කල නොහැක්කකි. එපමනක් නොව එකල විසූ අරාබිවරුන් ඔවුන්ගේ විශිෂ්ට කථිකත්වයට මෙන්ම කාව්‍ය හා ප්‍රභාවත් කථනය කෙරෙහි ප්‍රසිද්ධවයක් ඉසුලුවෝය. එහෙත්, කුර්ආනයේ පැවති සාහිත්‍යමය විශිෂ්ටත්වය අභිබවා යාමට ඔවුන් කිසිවෙකුට හැකිවුයේ නැත. 

අල් කුරානයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය සම්පුර්ණයෙන්ම කට පාඩම් කිරීමට හැකි වීම ය. ඒ අනුව ලොව පුරා කුරානය සම්පුර්ණයෙන් කටපාඩම් කල හෆිස්වරුන් මිලියනයකට වඩා සිටිති. මේ හේතුවෙන් ලෝකයේ ඇති සියලුම කුර්ආන් ග්‍රන්ථ විනාශයට පත් කෙරුණත් එය නැවතත් සකස් කිරීමට හැකියාව ලැබේ.  

ඉරම් යනු දැනට වසර 4000කට පමණ පෙර පැවති නගරයකි. එහි ඉතිහාසය කොතැනකවත් ලියවී නැත. එසේ තිබියදී එම නගරය පිළිබඳවත් එහි ජීවත්වූ ජනතාව පිළිබඳවත් කුරානයේ විස්තර කොට ඇත. එම කරුණුවල සත්‍යතාව නවීන භූ විද්‍යා කැනීම් වලින් තහවුරු කරගෙන තිබේ. එසේම ඊජිප්තුව පාලනය කල පරාවෝ සම්බන්දයෙන් විස්තර කිසිවෙකු නොදන්නා කාලයකදී කුරානයට ඇතුලත් කොට තිබේ. මෙම කරුණු වලින් පෙනී යන්නේ කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් බවයි.

එදා රෝමය ඉතා බලසම්පන්න රාජ්‍යයක් විය. එහි පරාජය ගැන කිසිවෙකුත් බලාපොරොත්තු වුයේ නැත. එසේ තිබියදී රෝමාවරුන්ගේ පරාජය ගැනත්, කෙටි කාලයක් තුලදී රෝමාවරුන් නැවතත් ජය ගන්නා බවත් කුරානයෙන් පුරෝකථනය කොට තිබේ. එම කරුණ ඒ ආකාරයෙන්ම සිදු වීමෙන් පෙන්නුම් කරන්නේ කුරානය දෙවියන් විසින් පහළ කරන ලද බවයි. 

අබු ලහබ් ඉස්ලාම් දහමේ පරම සතුරෙක් විය. අබු ලහැබ් වැනි වෙනත් බොහෝ අය පසු කාලයකදී ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබේ. කෙසේ වෙතත් අබු ලහබ් ඉස්ලාම් දහම වැළඳ නොගන්නා බව කුරානයේ සඳහන් කොට ඇත. එසේ සඳහන් කිරීමෙන් පසු වසර දහයක් පමණ අබු ලහබ් ජිවත් විය. එහෙත් ඔහු ඉස්ලාම් දහම වැළඳ ගත්තේ නැත. යම් විදියකින් ඔහු ඉස්ලාම් දහම වැළඳගෙන තිබුනේ නම් කුරානය බොරුවක් වේ. එහෙත් එවැනි දෙයක් සිදු වුයේ නැත. 

කුරානය පහළ වුයේ විද්‍යාව නොදියුණු අවදියක දීය. එසේ තිබියදී කුරානය තුල විශ්වයේ ප්‍රසාරණය ගැන සඳහන් වේ. එහි සත්‍යතාව තහවුරු කර ගනු ලැබුවේ 20වන සියවසේදී ය. ඒ සඳහා නවීන විද්‍යා දැනුම සහ නුතන විද්‍යා උපකරණ භාවිතයට ගැනුණේය. ඒ කිසිවක් නොමැති යුගයකදී විශ්වය ප්‍රසාරණය වන බව සඳහන් කල හැකි වුයේ කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් බැවිනි. විශ්වය ප්‍රසාරණය වන බව සොයාගැනීමෙන් පසු අහස සහ පොළව එක්ව තිබී පසුව වෙන්වූ බව නිගමනය කරන ලදී. එහෙත් එම කරුණ 7වන සියවසේදී පහළ කරන ලද කුරානය තුල ඉතා නිවැරදිව සඳහන් කොට ඇත. 

ඉතා මැතක් වන තුරු මිනිසා විශ්වාස කලේ සුර්යයයා අචල වස්තුවක් බවයි. එහෙත් දැනට වසර 1450කට පමණ පෙර පහළ වූ කුරානය පෙන්වා දෙන්නේ සුර්යයයා ඊට අයත් මාර්ගයක ගමන් කරන බවයි. එදා එවැනි දෙයක් කල හැකි වුයේ කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් නිසාය. තවද, 7වන සිය වසේදී පහළ කරන ලද අල් කුරානය තුල මිනිස් කලලයේ විකසනය පිලිබඳ විස්තර ඉතා නිවැරදිව සඳහන් කොට ඇත. ඒ ගැන හැදෑරු ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ නාරි විද්‍යාව පිලිබඳ මහාචාර්ය කිත් එල් මුවර් පවසන්නේ එවැනි දෙයක් කල හැකි වීමට නම් කුරානය දෙවියන්ගෙන් පහළ කරන ලද පණිවිඩයක් විය යුතු බවයි. පෘථිවියේ සතායිතව ඇති කිරීම සඳහා කඳුවලින් සිදු කෙරෙන කාර්ය භාරය කුරානයේ සඳහන් කොට ඇත. කෙසේ වෙතත් එම කරුණ විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබුවේ ඉතා මෑතකදීය. 

කුරානයේ ඇතුලත්ව තිබෙන බොහෝ විෂයන්ට අයත් කරුණු පහළ වුයේ වසර 23ක් පුරා කොටස් වශයෙනි. ඒ අනුව එක් විෂයකට අයත් ඇතැම් කරුණු නොයෙකුත් අවස්ථාවේදී පහළ වී තිබේ. එසේ තිබියදීත් කුරානයේ කිසිම තැනක පරස්පරතාවයක් දැකිය නොහැක. කෙසේ වෙතත් කුරානය මිනිසා විසින් රචනා කරන ලද්දක් නම් මෙතරම් කරුණු එකට ගොනු කිරීමේදී පරස්පරතාවයන් ඇතිවීම වැළැක්විය නොහැක. තවද, කුරානය පහළ වන යුගයේදී බොහෝ අවිද්‍යාත්මක සංසිද්ධීන් ප්‍රචලිතව තිබුනේය. කෙසේ වෙතත් එවැනි වැරදි සංකල්පයන් කිසිවක් කුරානයට ඇතුලත් නොවුයේ කුරානය දෙවියන් විසින් පහළ කරන ලද්දක් බැවිනි.

කුරානය එක් මිනිස් කණ්ඩායමක් වෙනුවෙන් පහළ කරන ලද්දක් නොවේ. එය මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා පහළ වුවකි. ඒ අනුව කුරානය හදාරා ඒ අනුව ජිවත් වීම මිනිසාට පැවරෙන වගකීමක් වේ. 

By Fasy Ajward.B.Sc(Physics Special)Hons.Japura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path




Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)