ඉස්ලාමයට අනුව කාලයේ වැදගත්කම (The importance of time according to Islam)
ඉස්ලාම් පෙන්වා දෙන ආකාරයට මෙලොව උපදින සැම කෙනෙකුටම නියමිත ආයු කාලයක් ලබා දී තිබේ. එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින්නේ මිනිසාගේ ක්රියාවන් මතය. මේ හේතුවෙන් "කාලය රන් හා වටී" යැයි පැරණි කියමනක් ද තිබේ. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා පැවසූ හදීසයක මෙසේ දැක්වේ. "ශරීර සෞඛ්යය සහ කාලය යනු බොහෝ දෙනෙකුට යහපත් දේවල් කර ගැනීමට නොහැකි ආශිර්වාද දෙකකි" (බුහාරි). ඒ අනුව බොහෝ අයට කාලය සහ ශරීර සෞඛ්යය තිබුනත් පිනක් කර ගැනීමට සිත් පහළ වන්නේ නැත. එවැනි අය මතු ජීවිතයේදී ඒ ගැන සිතා අධික ලෙස දුක් වනු ඇත.
කාලයේ ඇති වැදගත්කම නිසාම අල්ලආහු තආ'ලා, කුරානයේ බොහෝ තැන්වල කාලය මත දිව්රා තිබේ. ඒවා අතරින් එක් පරිජ්ජෙදයක් වන්නේ අල්අස්ර් සුරාවයි. එහි මෙසේ දැක්වේ. “කාලය කෙරෙහි දිවුරා පවසමි! නියතව මිනිසා පාඩුවෙහිම සිටියි. (නමුත්) කවරහු (අල්ලාහ්ව) විශ්වාස කරන්නෝද, යහකම් කරන්නෝද, සත්යය මගින් එකිනෙකාට උපදෙස් කර ගන්නෝද, එකිනෙකා අතර ඉවසීම කෙරෙහි උපදෙස් කරගන්නෝද යන අය හැරය”. මෙහි පෙන්වා දී ඇති දේවල් නොකරන සියලුම දෙනා පාඩුවක්ම ලබන්නෝය. .
ජීවිතය ජය ගැනීමට නම් දෙවියන්ව හරි හැටි දැනගෙන ඔහුව විශ්වාස කිරීම අනිවාර්ය වේ. එහෙත් බොහෝ අය දෙවියන් සතු ලක්ෂණ පවා දන්නේ නැත. මේ නිසා ඔවුන් තම අතින්ම සාදාගත් දේව රූපවලට වැඳුම් පිදුම් කරති. එහෙත් ඒවායින් ඔවුන්ගේ උවමනාවන් ඉටු වන්නේ නැත. එසේම එම දේව රූපවලින් කෙනෙකුට හොඳක් කිරීමට හෝ නරකක් කිරීමට හෝ නොහැක. එසේම එම දේව රූපවලින් මැස්සෙකුවත් මැවීමට නොහැක. අනෙක් අතට ඒවා නඩත්තු කල යුත්තේද මිනිසා විසින්ම ය. මේ නිසා නිවැරදි දේව විශ්වාසය නොමැති අය ඉහත කුර්ආන් පාටයේ දැක්වෙන අන්දමට පාඩුවක්ම ලබන්නෝය.
සෑම නිෂ්පාදනයක් සමගම අත්පොතක් ලබා දෙන ආකාරයටම මිනිසාටත් ආරම්බයේ සිටම නබිවරුන්ගේ මාර්ගයෙන් දහම් පණිවිඩ ලබා දී තිබේ. ඒ අනුව නිවැරදි දේව විශ්වාසය ඇති පුද්ගලයෙකු කල යුත්තේ දෙවියන් පෙන්වාදී ඇති එම මාර්ගය පිළිපැදීමය. ඒ වෙනුවට තමන් සිතන දේවල් කුසල් යැයි සිතා ඒවා ඉටු කිරීමෙන් ප්රයෝජනයක් අත්වන්නේ නැත.
බොහෝ අයට මරණයෙන් පසු ජීවිතය ගැන විශ්වාසයක් නැත. එවැනි අය කරන්නේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කිරීමයි. ඒ අනුව ඇතැමුන්ගේ පරමාර්ථය ලෝකයේ ලොකුම ධනවතා වීමය. තවත් සමහරුන්ගේ අරමුණ ලෝකයේ ඇති සෑම සතුටක්ම අත්විඳිම වේ. එහෙත් කුරානය පෙන්වා දෙන්නේ ලෞකික ජීවිතය මුලාවක් බවයි. ඒ අනුව ලෞකික ජීවිතයේදී මොනතරම් හම්බ කලත් නියමිත වේලාව පැමිණි විට තමන් කල හොඳ හෝ නරක පමණක් රැගෙන හිස් අතින් අන්තිම ගමන් යා යුතුය.
තමන් උපයාගත් දේවල් වලින් නැති බැරි අයට උපකාර නොකර තමන් ලඟම ඒවා පොදිබැඳ ගත් අය මරණ මංචකයේදී එම වරදේ බැරෑරුම් කම වටහා ගනු ඇත. ඔවුන් ගැන කුරානය මෙසේ පවසයි: "නුඹලාගෙන් කෙනෙකුට මරණය පැමිණීමට පෙර නුඹලාට අප ලබා දී ඇති දේවල් වලින් නුඹලා (යහකම්හි) වියදම් කරනු. (නැති නම් මැරෙන මොහොතේදී) 'මාගේ සමිඳුනි! නුඹ මට සුළු මොහොතකට අවස්ථාව ලබා දෙන්නේ නම් මා මාගේ ධනයෙන් සදකා දී ධර්මිෂ්ටයෙක් වන්නෙමි'යි (පවසනු ඇත). (එහෙත්) කිසිවෙකුගේ නිශ්චිත කාලය පැමිණියේ නම්, අල්ලාහ් එය මොහොතක් හෝ ප්රමාද කරන්නේ නැත. තවද, නුඹලා කරන දේවල් ගැන අල්ලාහ් හොඳින් දන්නේය" (කුරානය 63:10-11).
මිනිසාට ලැබී ඇත්තේ එක් ආයු කාලයක් පමණි. එය සාර්ථක කර ගැනීමෙන් සදාකල් ජිවත් විය හැකි ස්වර්ගයට යා හැකිය. එහෙත් බොහෝ අය ඒ ගැන සිතන්නේ නැත. තවත් අය ඒ ගැන දන්නේ නැත. මේ නිසා ඒ ගැන දන්නා අයගේ යුතුකම වන්නේ ඒ බව නොදන්නා අයට කියා දීමයි.
බොහෝ අය තමන්ට ලැබී ඇති ඉතා වටිනා කාලය නිකරුනේ නාස්ති කරන්නේය. එහෙත් ඔලිම්පික් තරඟයකට සහභාගී වන කෙනෙකුට මිලි තත්පරයක වටිනාකම ගැන අමුතුවෙන් කිව යුතු නැත. එසේම මාර්ග අනතුරකින් දිවි ගලවා ගත් කෙනෙකුට ඔහු බේරුණු එම සුළු මොහොතෙහි වටිනාකම ගැන මැනවින් දන්නේය. එසේම මරණයට පත්වූ කෙනෙක් ලෞකික ජ්විතයේදී නාස්ති කල සෑම මොහොතක් ගැනම සිතා අධික ලෙස දුක් වනු ඇත. මේ හේතුවෙන් නබි තුමා මෙසේ පවසා ඇත. “කාරණා පහකට පෙර කාරණා පහකින් ප්රයෝජන ගන්න: ඔබ වයසට යාමට පෙර ඔබේ තරුණ කාලය; ඔබ අසනීප වීමට පෙර ඔබේ සෞඛ්යය; ඔබ දුප්පත් වීමට පෙර ඔබේ ධනය; ඔබ වෙනත් දෙයකට යෙදීමට පෙර ඔබේ නිදහස් කාලය සහ ඔබේ මරණයට පෙර ඔබේ ජීවිතය” (මුස්නද් අහමද්).
ඉස්ලාම් දහම පෙන්වා දෙන ආකාරයට මිය ගිය සෑම කෙනෙකුගෙන්ම ඔහුගේ තරුණ කාලය ගැනද, ඔහුගේ වැඩිහිටි කාලය ගැනද වෙන වෙනම ප්රශ්න කිරීමට නියමිත ය. එපමණක් නොව එක් එක් අයගෙන් ඔවුන්ට ලබා දුන් දායාදයන් ගැන ප්රශ්න කිරීමට නියමිත බව මෙම කුර්ආන් වැකියෙන් පෙන්වා දී තිබේ "නියතව නුඹලාට දෙනු ලැබූ දායාදයන් ගැන එම දිනයේදී ප්රශ්න කරනු ඇත" (කුරානය 102:8). මේ නිසා අප කල යුත්තේ ඒවාට දැන්ම සුදානම් වීම නොවේද?
By Fasy Ajward. B.Sc(Physics.Special)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path
Comments
Post a Comment