අල්ලාහ් යනු කවුරුන්ද? (Who is Allah?)


ලෝකයේ ඇති සෑම ආගමකින්ම දෙවියන් පිලිබඳ විශ්වාසය උගන්වයි. කෙසේ වෙතත්, එම විශ්වාසයන් එකිනෙකට වෙනස් වේ. එසේ තිබියදී යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් යන ආගම්වල යම් එකඟතාවක් දැකිය හැකිය; ඊට හේතුව එම ආගම් තුනම අල්ලාහ් විසින් පහළ කොට තිබීමයි. එහෙත් පසු කාලීනව මිනිසුන් විසින් එම ආගම්වලින් පවසන ඒක දේව විශ්වාසය වෙනස් කොට තිබේ. 

ආගම්වලින් දෙවියන් ගැන සඳහන් කලද, ඉස්ලාම් දහම හැර අනෙක් ආගම්වල දෙවියන් පිලිබඳ සංකල්පය අර්ථ දක්වා නොමැත. කුරානය, අල්ලාහ් පිළිබඳව මෙසේ පවසයි: "පවසනු! අල්ලාහ් එක් කෙනෙකි. අල්ලාහ් (කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තා ය. ඔහු කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. (එසේම) ඔහු කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමාන වෙනත් කිසිවෙකුද නැත" (කුරානය 112; 1-4). 

ඉස්ලාමිය විශ්වාසය අනුව, විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා පාලනය කරන්නේ අල්ලාහ් ය. එබැවින්, නැමදුම් ලැබීමට එකම සුදුස්සා ඔහු පමණි. සෑම දෙයක්ම ඔහුගේ මැවීම් වන අතර, ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවේ. ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවන බැවින් ඔහුගේ ආරම්භය ගැන ප්‍රශ්න කල නොහැක.

අල්ලාහ් සම්බන්දයෙන් කුරානය මෙසේද සඳහන් කරයි: "(සත්‍ය ලෙසම) නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත. ඔහු නිත්‍යය ජීවමානය සදාකාලිකය. මද නින්ද හෝ තද නින්ද හෝ ඔහුව නොඅල්වන්නේය. අහස්හි ඇති දේද පොළොවෙහි ඇති දේද ඔහුටම හිමිය. ඔහුගේ අනුමැතිය නොමැතිව ඔහු හමුවෙහි කවරෙකුට හෝ මැදිහත් විය නොහැක. (මැවුම් වන) ඔවුන්ට පෙර ඇති දේද ඔවුන්ට පසු ඇති දේද ඔහු හොඳින් දන්නේය. ඔහු මනාප වූ දේ හැර, ඔහු දැන සිටින දෙයින් කිසිවක් ඔවුන් විසින් දැනගත නොහැකිය. ඔහුගේ 'කුර්සි' අහසෙහිද පොළොවෙහිද ව්‍යාප්තව පවතින්නේය. ඒ දෙකම ආරක්ෂා කිරීම ඔහුට අපහසුවක් නොවේ. ඔහු වඩාත් උතුම් කෙනාද මහඟු බව ඇත්තාද වේ" (කුරානය 2:255). මෙවැනි ගුණාංග අල්ලාහ්ට හැර වෙන කිසිවෙකුට අයත් නොවේ. එබැවින්, සාස්තෘවරුන්ට හෝ නබිවරුන්ට හෝ පිළිම වලට හෝ වැඩිහිටියන්ට හෝ වැඳීම ඉස්ලාම් දහම අනුව බරපතල වරදකි. කෙසේ වෙතත් ගෞරවය ලැබීමට සුදුසු අයට  ගෞරව දැක්වීම සඳහා ඉස්ලාම් දහම පෙන්වා දෙන්නේය. 

ඉහතදී පෙන්වා දුන් අන්දමට කිසිම ආගමික නායකයෙක් දෙවියන්ගේ තත්වයට පත් වන්නේ නැත. ඒ අනුව මුහම්මද් නබිතුමා දෙවියන්ගේ වහලා සහ ගැත්තා වන අතර දේශකයෙකු ද වේ. එසේම ජේසු තුමා, දෙවියන්ගේ මිහිපිට නියෝජිතයෙකු මිස දේව පුත්‍රයෙකු නොවේ. කුරානයට අනුව ජේසු තුමා අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨ නබි වරයෙකි. අල්ලාහ්ගේ නියෝගය අනුව, කන්‍යා මරියා තුමිය විසින් ජේසු තුමාව පියෙකු නොමැතිව පිළිසිඳ ගෙන තිබේ. එතුමා දෙවි කෙනෙක් නොවන්නේ ඔහුට ආරම්භයක් තිබෙන නිසාය. ඔහු අනෙක් මිනිසුන් මෙන් මවකගේ කුසින් උපත ලැබුවේය. එපමණක් නොව, ඔහු අනෙක් මිනිසුන් මෙන් අහාර අනුභව කොට මල පහ කළේය. තවද, එතුමා දේවත්වයට නොගැලපෙන අයුරින් මිනිසුන්ගේ තාඩන පීඩන වලට ගොදුරු විය. 

ඇතැමුන් පවසන ආකාරයට, අල්ලාහ් වෙනුවට සොබා දහම ආදේශ කල නොහැක. සොබා දහම යනු අල්ලාහ් දෙවිඳුන් විශ්වය මැවීමෙන් පසු ඒ මත පනවන ලද ඔහුගේ නියෝගයන් වේ. උදාහරණයක් ලෙස පස මත දමන ලද බීජයකින් පැලයක් හට ගන්නේ අල්ලාහ්ගේ සැලසුම නිසාය. සුර්යයා වටා ග්‍රහවස්තු නියමිත රටාවකට ගමන් කරන්නේ අල්ලාහ්ගේ නියෝගය නිසාය. රැදවල් ඇති වන්නේ අල්ලාහ්ගේ නියෝගය නිසාය. සාගරයේ විශාල නැව් පාවෙන්නේ අල්ලාහ්ගේ නියෝගය නිසාය. ගින්නෙන් පිලිස්සෙන්නේ අල්ලාහ්ගේ නියෝගය නිසාය. අල්ලාහ්ට අවශ්‍ය නම් මේවා වෙනස් කල හැකිය.

ඉස්ලාම් දහම පෙන්වා දෙන ආකාරයට අල්ලාහ් එක්කෙනෙකි. එහෙත් අල්ලාහ්ට, අලංකාර නම් 99ක් තිබේ. මේ ඕනෑම නමකින් ඔහුට ආමන්ත්‍රණය කල හැකිය. එම නම් වලින් කිහිපයක් පමණක් මෙහි දැක්වේ. 'අර්රහ්මාන් (الرحمن)' ඉන් අදහස් කරන්නේ අල්ලාහ් අසීමිත කරුනාවන්තයා බවයි. 'අර්රහිම් (الرحيم)' එනම් ඔහු අසීමිත දයාවන්තයා වේ. "අල්-කාලික් (الخالق)" එහි අර්ථය, නැති දෙයකින් අළුත් දෙයක් නිර්මාණය කරන්නා බවයි. "අල්-මුසව්විර් (المصور)" එනම්, ඔහු රූ සකසන්නා වේ. 'අර්රzස්සාක් (الرزاق)' යන්නෙන් කියැවෙන්නේ සෑම කෙනෙකුටම අහාර ලබා දෙන්නා බවයි. 'අල්මලික් (الملك)' යන්නෙන් ඔහුගේ ආධිපත්‍යය ගැන පැවසේ. 'අල්කුද්දුස් (القدوس)' යන්නෙන් ඔහුගේ පාරිශුද්ධත්වය ගැන කියැවේ. 'අල්බසීර් (البصير)' යන්නෙන් අදහස් කරන්නේ, ඔහු සියලුම දේ හොඳින් නිරීක්ෂණය කරන්නා බවයි. 'අස්-සමියි (السميع)' යන්නෙන් ඔහු සියලුම දේට ඇහුම්කන් දෙන්නා බව කියැවේ. 'අල් වහ්හාබ් (الوهاب)' යන්නෙන් ඔහු සෑම කෙනෙකුගේම උවමනාවන් ඉටු කරන්නා බව කියැවේ. "අස්සබුර් (الصبور)" යන්නෙන් ඔහු අතිශයින්ම ඉවසිලිවන්තයා බව පැවසේ. "අල් ගෆ්ෆාර් (الغفار)" යන්නෙන් ඔහු අතිශයෙන්ම සමාව දෙන්නා බව පැවසේ. මේවාට අමතරව තවත් නම් ඔහුට ඇත. විනිශ්චය දිනයේදී අධිපති අල්ලාහ්ය. අල් කුරානයේ එක් පරිජේදයක් හැර අන් සෑම පරිජ්ජෙදයක්ම ආරම්භ වන්නේ 'අර්රහ්මාන් (الرحمن)' සහ 'අර්රහිම් (الرحيم)' යන නම් වලින් ය. අල්ලාහ් විශ්වය සහ එහි ඇති සියල්ල නිර්මාණය කළේ මෙම ගුණාංගයන් ප්‍රකාශ කිරීම සඳහා ය. එසේ තිබියදී ජින්වරුන්ව සහ මිනිසුන්ව මවා තිබෙන්නේ ඔහුට නැමදීම සඳහා ය."මා ජින්වරුන්ව සහ මිනිසුන්ව, මාව නැමදීමට මිස මැව්වේ නැත" (කුරානය 51:56). (ජින්වරුන් යනු ගින්නෙන් මවා ඇති ජීවියෙකි). 

මේ ලෝකය සදාකල් පවතින්නේ නැත. ඒ අනුව එය දෙවියන් නියම කල මොහොතකදී අවසානයට පත් වීමට නියමිතය. ඉස්ලාම් දහම පවසන ආකාරයට ලෝකය අවසාන වීමෙන් පසු මෙලොව ඉපදී මිය ගිය සියලුම දෙනා නැවත නැගිටුවා ප්‍රශ්න කිරීමට නියමිතය. එම දිනය "විනිශ්චය දිනය" ලෙස නම් කොට ඇත. එම දිනයේදී අධිපති අල්ලාහ් ය. ඔහුගේ විනිශ්චයෙන් පසු පින් කල අය ස්වර්ගයටත් පව් කල අය නිරයටත් යෑමට නියමිතය. 

By Fasy Ajward.B.Sc(Physics Special) Hons. Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)