ඉස්ලාමයට අනුව හදවතේ කාර්යභාරය කුමක්ද? (According to Islam, what is the role of the heart?)
ඈත අතීතයේ සිටම, මිනිස් ක්රියාකාරකම් මෙහෙයවනු ලබන්නේ මොළයෙන් යැවෙන පණිවිඩ මගින් බව මිනිසුන් විශ්වාස කළහ. කෙසේ වෙතත්, මෑතකාලීන පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ හෘදය විසින් මොළයේ ක්රියාකාරීත්වයට බලපෑම් කරන බවයි. එම කරුණ දැනට වසර 1450කට පමණ පෙර පහළ කරන ලද කුරානයේ ඇති ඇතැම් කරුණු වලින් තහවුරු වේ. කුරානයේ එක් තැනක මෙසේ දැක්වේ. "ඔවුන් කරමින් සිටි දේ ඔවුන්ගේ හදවත් මත මල බැඳීමක් ලෙස පතිත විය". මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාද හදවත සම්බන්දයෙන් මෙවැනි ප්රකාශනය සිදු කොට තිබේ. “අපගේ ශරීරයේ එක් මාංශ කොටසක් ඇත. එය හොඳ තත්වයේ පවතින්නේ නම් මුළු ශරීරයම යහපත් වේ; එය දූෂිත වුවහොත් මුළු ශරීරයම දූෂිත වේ. දැනගනු, එය හදවතයි"
මිනිස් ක්රියාකාර කම් හේතුවෙන් ඇතැම් හදවත් දැඩි වන බව ඉස්ලාමය පෙන්වා දෙයි. එවිට ඇස් තිබුනත් හරිදේ නොපෙනී යයි. කන් තිබුනත් සත්යය ඇසෙන්නේ නැත. හදවත තිබුනත් නිවැරදි දේ වැටහෙන්නේ නැත. ඔවුන් ගැන කුරානය මෙසේ පවසයි; "ඔවුන්ට සිත් ඇත්තේය. (එහෙත්) එමගින් ඔවුන් වටහා නොගන්නෝය. තවද, ඔවුනට ඇස් ඇත්තේය (එහෙත්) එමගින් ඔවුන් නොබලන්නෝය. ඔවුන්ට කන් ඇත්තේය (එහෙත්) එමගින් ඔවුන් සවන් නොදෙන්නෝය" (කුරානය 7:179). කුරානය තුල ඇතැම් හදවත් ගල් පර්වත වලට සමාන කොට ඇත. “ඉන් පසුවද ඔබගේ හදවත් දැඩිවිය. එය ගල් පර්වත මෙන් හෝ නැතහොත් ඊටත් වඩා දැඩි විය. (මන්දයත්) සමහර පර්වතවලින් උල්පත් ඇති වී සැමදා ජලය වැහෙන්නේය. තවත් සමහර පර්වත පැලී දෙබෑ වී එයින් ජල දහරා වැහෙන්නේය. ඉන් සමහරක් අල්ලාහ්ට බියෙන් පහලට ඇද හැලෙන්නේය. අල්ලාහ් ඔබ කරන දැය නොදන්නේ නොවේ” (කුරානය 2:74).
ඇතැම් අයගේ වැරදි නිසා ඔවුන්ගේ හදවත් වලට, මුද්රා තබන බව කුරානයේ දැක්වේ. “(අල්ලාහ්ගෙන්) තමන්ට පැමිණි කිසිම සාදකයක් නොමැතිව අල්ලාහ්ගේ ආයාවන් (වදන්) ගැන (නිකරුනේ) තර්ක කිරීම අල්ලාහ් වෙතද විස්වාස කළ අය වෙතද ඉතාමත් පිළිකුල් සහගතය. එසේම ආඩම්බරය හා උඩඟුකම ඇති සෑම කෙනෙකුගේම හෘදයන්හි අල්ලාහ් මුද්රා තබන්නේය” (කුරානය 40:35).
ඉස්ලාමිය ලෝකයේ ප්රසිද්ද විද්වතෙකු වන ඉමාම් ගzස්සාලි පවසන්නේ මිනිසාගේ වැදගත්ම හරය සිත (Qalb-Self) බවයි. ඔහු පවසන ආකාරයට මිනිස් සිත අධ්යාත්මික (spiritual) වස්තුවක් වන අතර එය ශරීරය තුල භෞතික සහ අධ්යාත්මික ක්රියාවන් මෙහෙය වනු ලබයි. ඉමාම් ගzස්සාලි තුමා පවසන ආකාරයට සිතට භෞතික හදවතත් සමග සම්බන්දතාවයක් පවතින්නේය.
නබිතුමා පවසා ඇති හදිසයකින් පැවසෙන්නේ කෙනෙකුගේ අකුසල් නිසා ඔහුගේ හදවත අඳුරු වන බවයි. කෙසේ වෙතත් එම වැරදි ගැන සිතා පසුතැවිලි වන්නේ නම් එම තත්වයෙන් මිදිය හැකි ය. එහෙත් බොහෝ අය නිරන්තරයෙන්ම වැරදි කිරීම නිසා එවැනි තත්වයක් ඇතිවේ යැයි අපේක්ෂා කල නොහැක. එබැවින් අප කල යුත්තේ වැරදි කල සැනින් ඒ ගැන සිතා පසුතවිලිවී දෙවියන්ගෙන් සමාව අයද සිටීමයි.
By Fasy Ajward.B.Sc (Physics Special) Hons.Japura,
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twitter:- thetrue_path
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
http://truepath1.blogspot.com/
Twitter:- thetrue_path
Comments
Post a Comment