මියගිය හදවත් වල අධ්‍යාත්මික බංකොලොත්භාවය (Spiritual bankruptcy of dead hearts)


මිනිස් හදවත භෞතික මෙන්ම චිත්තවේගීය ඉන්ද්‍රියක් ලෙස සැලකිය හැකිය. එය මිනිස් සෙනෙහසේ ආසනය  ද වේ.  එමගින් මිනිසාගේ මනස, ශරීරය හා ආත්මය සම්බන්ධ කරන්නේය. අල් කුරානයට අනුව මිනිස් හදවත ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන්නේය. ඇතැම් ඉස්ලාමිය විද්වතුන් එය ආත්මය ලෙසද  නම් කොට ඇත. ඒ අනුව හදවත අන්ද වීම මිනිසාගේ අධ්‍යාත්මික ජීවිතය විනාශයට පත් වීමට හේතුවකි. මිනිසාගේ ඇස් දෙකම අන්ද වුවත් හදවත අල්ලාහ් කෙරෙහි විශ්වාසය තුලින් ජීවමාන වේ නම් ජීවිතය ජය ගැනීමට හැකි වන්නේය.  ඇයිද යත් අධ්‍යාත්මික හදවත අන්ද වූ කෙනෙකුට කොපමණ උපදෙස් දෙනු ලැබුවත් ඉන් ප්‍රයෝජනයක් අත් නොවන නිසාය. හදවත අන්ද වීමට ප්‍රධාන වශයෙන් බල පාන්නේ මිනිසා කරන අකුසල් ක්‍රියාවන් වේ. 

මිනිස් ආත්මය අශ්වාරෝහකයෙකුට උපමා කළ හැකිය. ඒ අනුව අශ්වාරෝහකයා ශක්තිමත් වන තරම අනුව අශ්වාරෝහකයාට අශ්වයා හැසිරවිය හැකි වන්නේය. ඒ අකාරයටම ආත්මය ශක්තිමත් වන තරම අනුව මිනිසාට නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට හැකි වන්නේය. එසේ තිබියදී අද බොහෝ අය කාය වර්ධනය සඳහා නොයෙකුත් ව්‍යායාම වල යෙදුනත් ආත්මීය වර්ධනය සඳහා කිසිවක් කරන්නේ නැත. එහි ප්‍රතිපලය වන්නේ හදවත මිය යාමයි. කෙසේ වෙතත් සෑම කෙනෙකුටම මරණය නියතය. මරණයෙන් පසු හදවත මිය යාමේ භයානක ප්‍රතිපල දැක ගැනීමට හැකි වනු ඇත. එහෙත් එම අවස්ථාවේදී එය ප්‍රමාද වැඩිය. 

“කව්රුන්ගේ සිත්හි රෝග ඇත්තේද ඔවුන්ටද, සිත් දැඩිවුවන්ටද, සාතාන් දැමු දෙය පරීක්ෂාවක් කරන්නේය. නියත වශයෙන්ම අපරාධකරුවෝ සත්‍යයේ සිට ඉතා දුරස්ව සිටින්නෝය. නියතවශයෙන්ම දැනුම දෙනු ලැබුවන් මෙය (කුරානය) නුඹගේ 'රබ්' ගෙන් ලැබුණු සත්‍යය බව දැන, එය ඔවුන් විශ්වාස කර ඔවුන්ගේ සිත් ඔහුට අවනත කර ගනු ඇත. නියතවශයෙන්ම අල්ලාහ් විශ්වාස කළවුන්ව ඍජු මාර්ගයේ යැවීමට ප්‍රමාණවත් ය” (කුරානය 22:53-54). මේ නිසා ප්‍රතික්ෂේප කරන්නන් මරණය දක්වාම සත්‍යය දැනගැනීමට උත්සහ කරන්නේ නැත. 

කෙනෙකුට ලෞකික දැනුම තිබීමෙන්ම පමණක් අධ්‍යාත්මික සත්‍යය දැනගත හැකි වන්නේ නැත. එබැවින් ලෞකික දැනුම ඇති බොහෝ අය මිරිඟුවක් පසු පස හඹා යන අකාරයටම ලෞකික දේවල් පසුපස පමණක් හඹා යන්නෝය. අවසානයේදී ඔවුන් නතර වන්නේ කිසිවෙකුගේ පිහිටක් නොමැති අවාසනාවන්ත තැනකය. එවිට තමන්ව මුලා කල කිසිවෙකු උදව්වට පමිනේනේද නැත. ලෞකික ජීවිතයේදී මුලාවට පත් වුවන්ට සහ මුලාවට පත් කලවුන්ට අත්වන්නේ සදාකාලික නිරය වේ. ඇයිද යත් ඔවුන්ට දෙනු ලැබූ උපදෙස් වලට ඔවුන් කන් දුන්නේ නැත. ඔවුන් ගැන අල් කුරානයේ මෙසේ පවසා ඇත. 

“(නබියේ!) ඇත්තෙන්ම කව්රුන් හෝ (මෙම ග්‍රන්ථය) අවිස්වාස කරන්නෝද ඔබ බිය ගන්වා අවවාද කලේද අවවාද නොකළේද ඔවුන්ට එය එක සමානය. ඔවුන් කිසිසේත් විස්වාස කරන්නේම නැත. (එබැවින්) ඔවුන්ගේ සිත් තුලද ඔවුන්ගේ කන් තුලද අල්ලාහ් මුද්‍රා තබා ඇත්තේය. ඔවුන්ගේ දෘෂ්ටියෙහිද තිරයක් ඇති කළේය. තවද ඔවුන්ට දැඩි දඬුවම්ද ඇත” (කුරානය 2:6,7).

මිනිසා තමන් සිටින මතයේම නොසිට සත්‍යය සොයා දැනගැනීමට උත්සාහ කල යුතුය. ඇයිද යත් මිනිසාට ලැබී ඇත්තේ එක් ජිවිත කාලයක් පමණක් වන නිසාය. එය නිවැරදිව තේරුම් ගෙන ක්‍රියා කරන්නේ නම් මරණයෙන් පසු නිමක් නොමැති ජීවිතය ජය ගැනීමට හැකි වනු ඇත. එසේ නොකළේ නම් නිමක් නොමැති නිරයට පාත්‍ර වනු ඇත. එය ඉතා අවාසනාවන්ත තත්වයක් නොවේද?

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twitter:- thetrue_path 



Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)