වැරදි ලෙස වටහා ගත් ජිහාඩ් සංකල්පය (The misunderstood concept of jihad)


ඉස්ලාමයේ ඉතා වැදගත් සන්කපයක් වන ජිහාද් සම්බන්දයෙන් සමහර මාධ්‍ය ආයතන හිතා මතාම වැරදි අර්ථකතනයන් ලබා දෙන්නේය. එහෙත් කුරානයේ එන ජිහාද් යන වචනයට බහුවිධ අර්ථයන් තිබේ. ඒ අනුව ජිහාද් යන වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ "උත්සාහ දැරීම, කාර්යයක් ඉටු කිරීම සඳහා සියලු ක්‍රම භාවිතා කිරීම" යන අර්ථයෙන්ය. එය "ජහාදා" යන අරාබි මූලයෙන් උපුටාගෙන ඇත. කෙසේ වෙතත් ඇතැම් ජනමාධ්‍යවලින් පෙන්වා දීමට උත්සාහ කරන ත්‍රස්තවාදය, ඊට කිසිසේත්ම සම කල නොහැක.

ඉස්ලාම් දහමින් මිනිස් ජිවිතයට ඉහලම වටිනාකම ලබා දී තිබේ. ඒ අනුව කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ. "නියතවශයෙන්ම කවරෙකු හෝ ඝාතනය කිරීම නිසා හෝ පොළොවෙහි කළහ ඇතිකළ හේතුව නිසා හෝ හැර තව කෙනෙකුව ඝාතනය කරයිද ඔහු මුළු මිනිස් වර්ගයාවම ඝාතනය කලාට සමානය, කවරෙක් එය ජිවත් කරවන්නේද ඔහු සියලු මිනිසුන්ව ජිවත් කරවීමට සමානය" (කුරානය 5:32). එසේ තිබියදී ත්‍රස්තවාදීන් කරන ම්ලේජ්ජ මිනි මැරුම් ඉස්ලාම් දහමට බැර කරන්නේ කෙසේද?

ඉස්ලාමයේ ආරම්භ අවධියේදී කඩුවෙන් කරන සටන්වලට අවසර තිබුනේ නැත. ඒ අනුව ඉස්ලාමයේ මුල් කාලය ගෙවී ගියේ සතුරන් විසින් මුස්ලිම්වරුන්ට එරෙහිව කරනු ලබන සෑම වදහිංසාවක්ම ඉවසා ගැනීමෙනි. එම ක්‍රියාව ජිහාද් ලෙස සලකන ලදී. එම ඉවසීමේ සීමාව ඉක්මවා යන විට ඔවුන් කලේ යුද්ධ කිරීම වෙනුවට තම නිජ බිමිය හැර දමා වරෙක අබිසිනියාවටත් තවත් වරෙක මදිනා නගරයටත් පලා යාමය. එසේ තිබියදී යම් කාලයක් ගෙවී ගිය පසු මුල්වතාවට කොන්දේසි සහිතව සතුරන්ට එරෙහිව යුද්ධ කිරීම සඳහා මුස්ලිම්වරුන්ට අවසර ලැබුනේය. 

යුද්ධ කිරීම ජිහාද්හි එක් අවස්තවක් පමණි. ඒ අනුව ඉස්ලාමයේ ඇති වෙනත් දේවල් කිරීමද ජිහාද්වලට අයත් වේ. එක් වතාවකදී අයිෂා තුමිය, නබිතුමාගෙන් මෙසේ ඇසුවාය. ‘නබිතුමාණෙනි! අපටත් ඔබ සමග යුද්ධ කිරීම සඳහා සහබාගි විය හැකිද?' ඊට පිළිතුරු වශයෙන්, "කාන්තාවන්ගේ හොඳම ජිහාදය අල්ලාහ් විසින් පිළිගනු ලැබූ හජ් වන්දනය ඉටු කිරීම" යැයි නබිතුමා පිළිතුරු දුන්නේය. එවිට ආයිෂා තුමිය මෙසේ කීවාය, 'මින් පසු හජ් වන්දනය අත් නොහැරීමට මා අධිෂ්ඨාන කරගතිමි'. (සහිහ් අල් බුහාරි 3.84).

ඉස්ලාම් දහමින් පෙන්වා දෙන ආකාරයට කෙනෙකුගේ මවට උදව් කිරීමත් ජිහාද් වේ. අබ්දුල්ලා ඉබ්නු උමර් රලි තුමා මෙම හදිසය දැනුම් දෙන්නේය. "එක් සහාබිවරයෙක් නබිතුමා වෙත පැමිණ ජිහාද්හි සහභාගී වීම සඳහා අවසර ඉල්ලා සිටියේය. එවිට නබිතුමා, ඔහුගේ දෙමාපියන් ජිවතුන් අතර සිටිනවාදැයි ප්‍රශ්න කොට ඇත. ඊට 'ඔව්' යැයි ඔහු පිළිතුරු දුන් විට, "ඔවුන්ගේ යහපත වෙනුවෙන් ජිහාද් කරන්නැ"යි නබිතුමා පිළිතුරු දී තිබේ (සහිහ් බුහාරි 8.3). මින් පෙනී යන්නේ ජිහාද් යනු යුද්ධ කිරීමම නොවන බවයි.

ඉස්ලාම් දහම පහළ වූ මුල් අවදියේදී සිදු කෙරුණු සෑම යුද්ධයක්ම ආරක්ෂාව වෙනුවෙන් සිදු කෙරුණු ඒවාය. තවද, ඒ සෑම යුද්ධයක් සඳහාම නබිතුමා සහභාගී වී තිබේ. ඉන් පෙනී යන්නේ යුද්ධයක් කිරීම සඳහා රාජ්‍ය නායකයෙකුගේ අනුමැතිය අවශ්‍ය බවයි.

ඉස්ලාමිය යුද්ධයක් සෑම විටම කුරණයෙන් මග පෙන්වා ඇති අකාරයට සිදු විය යුතුය. එබැවින් මුස්ලිම්වරුන් සිදු කරනු ලබන යුද්ධයකදී ඊට සම්බන්ද නොවන කිසිවෙකුවත් ඝාතනය කල නොහැක. තවද, කාන්තාවන්, මහලු උදවිය සහ කුඩා දරුවන් ඝාතනය කල නොහැක. පල දරන ගස්කොලන් විනාශ කල නොහැකිය. පුජනිය ස්ථාන, පාසල් සහ ආරෝග්‍ය ශාලා විනාශ කල නොහැකිය. යුද්ධයකදී අල්ලාගනු ලබන සතුරන්ට මනුශිකත්වයෙන් සැලකිය යුතුය. මේවා අල් කුරානයෙන් සහ නබිතුමාගේ මග පෙන්වීම තුල දැකිය හැකි කරුණු වේ.

කෙනෙකුට මුස්ලිම්වරයෙකුගේ නමක් තිබුණු පලියට ඔහුගේ සෑම ක්‍රියාවක්ම ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති පරිදි සිදු වේ යැයි බලාපොරොත්තු තැබිය නොහැක. එවැනි දෙයක් සිදු විය හැකි යැයි බලාපොරොත්තු තැබීම පවා මුග්ධ කමකි. කෙසේ වෙතත් ඇතැම් දේශපාලකයින් නොමග ගිය මුස්ලිම් වරුන්ව ඔවුන්ගේ දේශපාලනික අවශ්‍යතාවයන් සඳහා යොදා ගන්නේය. පාස්කු ප්‍රහාරය මිට හොඳ උදාහරණයක් වේ. මේ හේතුවෙන් ඇතැම් මුස්ලිම්වරුන් කරන  වැරදි නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාවටම දොස් පැවරීම වරදක් වේ.

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)