සාතන්ට සිදු වූ දෙයින් උගත යුතු පාඩම් (Lessons to be learned from what happened to Satan)



සාතන් යනු ගින්නෙන් මවන ලද ජින් (Jinn) කුලයට අයත් ජීවියෙකි. එහෙත්, ඔහු ස්වර්ගයේදී ආලෝකයෙන් මවන ලද දේවදූතයන් අතර ජීවත් විය. කෙසේ වෙතත් සාතන්ගේ උඩඟුකම නිසා ගන්නා ලද වැරදි තීරණය හේතුවෙන් ඔහුට ස්වර්ගය අහිමි විය. එපමණක් නොව, සාතන්ගේ අහංකාර කම නිසා ඔහු දෙවියන්ගේ උදහසට පත් විය. 

සාතන් කිසිම අවස්ථාවකදී අල්ලාහ්ව අවිස්වාස කලේ නැත. අල්ලාහ් ඔහුගේ මැවුම්කරු බවත් ඔහු හොඳාකාරවම දැන සිටියේය. එහෙත්, ඔහුගේ උඩඟුකම නිසා ගින්නෙන් මවන ලද ඔහුට සාපේක්ෂව මැටිවලින් මවන ලද ආදම් තුමා පහත් යැයි ඔහු සිතුවේය. මේ නිසා අල්ලාහ්ගේ අණ ලැබී තිබියදීත්, ඔහු ආදම් තුමාට හිස නැමීම ප්‍රතික්ෂේප කළේය. එම සංවාදය අල් කුරානය තුල මෙසේ දැක්වේ. "'මා නුඹට අණ දුන් කල්හි නුඹ සුජුද් නොකර සිටීම සඳහා නුඹව වැළැක්වූ දෙය කුමක්දැයි' ප්‍රශ්න කල කල්හි, 'මා ඔහුට වඩා උසස් වෙමි' 'නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇතැයි' පැවසුවේය. (කුරානය 7:12). කෙසේ වෙතත් සාතන් තම වරදෙහි බරපතලකම වටහා ගෙන තිබුනේ නම්, ඔහු කල යුතුව තිබුනේ තම ක්‍රියාව සාධාරණීකරණය කිරීමට වඩා ඔහු කළ වරදට සමාව අයැද සිටීමය. එසේ නොකිරීම නිසා ඔහුට ස්වර්ගය අහිමි විය.

නබිතුමාගේ හදිසයක දැක්වෙන අන්දමට තම සිත තුල අනු ප්‍රමාණයක හෝ උඩඟු කම තිබුනේ නම් ඔහු සුවර්ගයට යන්නේ නැත. එබැවින් කෙනෙක් මොන තරම් ඉහල නිල තල දැරුවත් නිහතමානි විය යුතුය. එසේ නොකළේ නම් සාතන්ට අත්වූ ඉරණම ඔහුටද අත් වනු ඇත.

සාතන් මිනිසාගේ පරම සතුරෙක් බව කුරානයේ බොහෝ තැන්වල සඳහන් කොට තිබේ. එසේ තිබියදී මිනිසා ඔහුගේ අඩිපාරේ ගමන් කිරීම කොතරම් මුග්ද කමක්ද? 

සාතන් එදා පැහැර හැරියේ අල්ලාහ්ගේ එක් නියෝගයක් පමණි. එහෙත් ඔහු විශාල පාඩුවක් ලැබුවේය. එසේ තිබියදී අද බොහෝ අය අල්ලාහ්ගේ නියෝගයන් විශාල ප්‍රමාණයක් නොසලකා හරිති. උදාහරණයක් වශයෙන් බොහෝ අය සලාතය ඉටු කරන්නේ නැත. ඇතැම් අය අනිවාර්ය කොට ඇති උපවාස ඉටු කරන්නේ නැත. තවත් සමහරු හැකියාව තිබියදීත් හජ් වන්දනය ඉටු කරන්නේ නැත. එසේම ඇතැම් ධනවතුන් සකාත් ගෙවීම පැහැර හරින්නෝය. මෙවැනි අය සාතන්ට සිදු වූ දේ ගැන සිතා බැලිය යුතු නොවේද? 

අල්ලාහ් කෙරෙහි බියබැතිකමින් ක්‍රියා කරන්නේ නම් ඔහු කෙරෙහි සාතන්ට කිසිම බලයක් නැත. මෙම කුර්ආන් වැකිය තුල එය දැකිය හැකි වේ. "නියත වශයෙන්ම මාගේ (යහපත්) ගැත්තන් කෙරෙහි නුඹට කිසිඳු බලයක් නැත" (කුරානය 17:65). මේ නිසා කෙනෙක් අල්ලාහ්ව ස්ථිර වශයෙන් විශ්වාස කොට ඔහුගේ අණ පිළිපදින්නේ නම් සාතන්ට ඔහුව නොමග යැවීමට හැකි වන්නේ නැත.

ලෞකික ජීවිතයේදී සාතන්ගේ උගුල් වලට හසුවූ අය මරණයෙන් පසු මුලාවට පත් වෙති. "විනිශ්චය දෙනු ලැබූ කල, (සාතන් මෙසේ පවසනු ඇත) 'ඇත්ත වශයෙන්ම අල්ලාහ් නුඹලාට සත්‍යය ප්‍රතිඥාවක් දුන්නේය' එසේ තිබියදී මාද නුඹලාට ප්‍රතිඥා දුන්නෙමි. එහෙත් මා නුඹලාට වෙනස්කම් කළෙමි. මා නුඹලාව අඬගැසූ විට පිළිතුරු දුන් දෙය හැර මා හට නුඹලා කෙරෙහි කිසිඳු බලයක් තිබුනේ නැත. එබැවින් නුඹලා මා හට දොස් නොපවරනු. නුඹලා නුඹලාටම දොස් පවරාගනු. මා නුඹලාව ආරක්ෂා කරන්නෙක්ද නොවෙමි. නුබලා මාව ආරක්ෂා කාරන්නන් ද නොවේ. මීට පෙර නුඹලා මා සමග සම කරමින් සිටි දේවල් නියත වශයෙන්ම මා විසින් ප්‍රතික්ෂේප කරමි'යි සාතන් පවසන්නේය" (කුරානය 14:22). 

ලෞකික ජීවිතය තාවකාලික එකක් බව දැන දැනත් බොහෝ අය ඒ වෙනුවෙන්ම ජිවත් වෙති. එහෙත් සාතන්ට සිදුවූ දෙයින් පාඩමක් ඉගෙන ගත්තේ නම් නිමක් නැති ස්වර්ගය අත්කර ගැනීම සඳහා ක්‍රියා කරනු ඇත.

By Fasy Ajward. B.Sc (PhysicsSpecial) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Twitter:- thetrue_path.

Comments

Post a Comment

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)