අදේවවාදය අභිභවා යන ඉස්ලාම් දහම (Islam transcends atheism)
ඕනෑම දෙයක් විශ්වාස කිරීම සඳහා විද්යාත්මක පදනමක් තිබිය යුතුය. එසේ නොවන්නට එය අඳුරේ අතපත ගෑමක් හා සමානය. ආගමික විශ්වාසයත් එසේමය. කෙසේ වෙතත් යම් දෙයක් විශ්වාස කිරීමට සාක්ෂි තිබියදී එය විශ්වාස නොකර සිටීම මුග්ධ කමකි. එහි උදාහරණය කෙසේද යත් ඇස්දෙක වසාගෙන සුර්යයා නැතැයි කීම හා සමාන ය. දෙවියන් සිටින බවට, විශ්වය පුරා සාක්ෂි තිබියදී එය පිලි නොගෙන සිටීමත් එසේම වේ,
අද බොහෝ දේවල් ක්රියා කරන්නේ දුරස්ථ පාලකයන් මගින් දෙන නියෝග මතය. එසේ තිබියදී ඒ ගැන දැනුමක් නොමැතිව, කෙනෙක් සිතනවා නම් ඒවා ඉබේ ක්රියා කරන බව, එය ඔහුගේ වරදකි. විශ්වයත් එසේමය. එහි ඇති සියලුම දේවල් දෙවියන් තමන්ට අයත් ස්ථානයේ සිට පාලනය කරන්නේය. එසේ තිබියදී කෙනෙක් දෙවියන්ව නොදැකීමේ හේතුවෙන්, ඒවා ඉබේ සිදුවන බව කිව හැකිද? කුරානය පවසන්නේ දෙවියන් දින හයකදී විශ්වය මවා ඔහුට ගැලපෙන ආකාරයට අර්ෂ් යන ස්ථානයට නැග, එහි සිට විශ්වය පාලනය කරන බව ය. ඒ අනුව විශ්වයේ ඇති සෑම දෙයක්ම ක්රියා කරන්නේ දෙවියන් දෙන නියෝග අනුවය. යම් කෙනෙක් එය විශ්වාස නොකරන්නේ නම් යකඩ ගොඩකින් ඉබේම යන්ත්ර සුත්ර ඇතිවිය හැකි බවත් පිළිගත යුතුය. එහෙත් එවැනි දේවල් සිදු වන්නේ නැත.
සෑම ජීවියෙකුම යන්ත්රයකට වඩා ඉතා සංකීර්ණ වේ. උදාහරණයක් වශයෙන්, මිනිස් සිරුර පෙන්වා දිය හැකිය. එය ඉතාමත් සංකීර්ණ යන්ත්රයකට වඩා ඉහළ මට්ටමකින් නිමවී තිබේ. එහි ඇති කොටස් ගැන හැදෑරීම සඳහා පමණක් විශේෂන්ඥ වෛද්යවරු විශාල ගණනාවක් අවශ්ය වේ. එසේ තිබියදී මිනිසා ඉබේ ඇතිවිය හැකිද? නැතහොත් එය දෙවියන්ගේ සුවිශේෂී මැවීමක් ද? එය තේරුම් ගත නොහැකි කෙනෙකුටත් සිව්පා සතෙකුටත් අතර වෙනසක් තිබිය නොහැකිය.
අදේවවාදීන් කිසිම දෙවිකෙනෙකු විශ්වාස කරන්නේ නැත. ඒ අනුව ඔවුන් එක් සත්යයක් තේරුම් ගෙන තිබේ. එනම් මිනිසුන් විශ්වාස කරන සියලුම දේවල් දේවත්වයට සුදුසු නොවන බවයි. ඒ අනුව අදේවවාදීන් කල යුතුව තිබෙන්නේ විශ්වය මැවූ දෙවියන් ගැන අධ්යයනය කොට ඔහුව තේරුම් ගැනීමය. ඒ සඳහා දෙවියන් පහළ කරන ලද නිවැරදි දහමක් හැදෑරිය යුතුය. කෙසේ වෙතත් සියලුම දේවල් ඉබේ ඇතිවන බවට ඇති පුර්ව නිගමනයේ සිටගෙන එය කල නොහැක.
ලෝකයේ ඇති සෑම ප්රධාන ආගමකින්ම, එනම් යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් ආගම් වලින් පවසන්නේ විශ්වය දෙවියන්ගේ මැවීමක් බවයි. එම ආගම්වලින් පෙන්වා දෙන අන්දමට නැති දෙයකින් අලුත් දෙයක් මැවිය හැක්කේ දෙවියන්ට පමණි. එය දෙවියන් සතු ගුණාංගයකි. මේ නිසා විශ්වය සහ එහි ඇති සියලුම දේවල් දෙවියන් ලබා දුන් නියෝග අනුව ක්රියාත්මක වේ. කුරානයේ සඳහන් වන ආකාරයට දෙවියන් යමක් මැවීමට අදහස් කලේ නම් ඊට නියෝග කරන අතර එසැනින් එය සිදු වන්නේය.
අදේවවාදීන්ගේ විශ්වාසය අනුව විශ්වය නිර්මාණය වන්නේ එක් ස්ථානයකට කේන්ද්රගතව තිබුණු ශක්තිය පුපුරා යෑමේ ප්රතිපලයක් හැටියට ය. එය "මහා පිපිරුම" ලෙස නම් කොට තිබේ. කෙසේ වෙතත් එම සිදු වීම සැලසුම් කලේ කව්රුන්දැයි පැහැදිලි කොට නැත. ඒ අනුව මහා පිපිරීම සිදු වීමට මොහොතකට පෙර තත්ත්වය කුමක්දැයි කිසිවෙකු දන්නේ නැත. මෙම කරුණ මහාචාර්ය ජෝසෆ් සිල්ක් මහතා විසින් රචිත "The Big Bang" යන කෘතියෙහි ද සඳහන් වේ. හත්වන සිය වසේදී පහළ වූ කුරානය තුල මහා පිපිරුම් වාදය සනාත කල හැකි කරුණු ඉතා මැනවින් සඳහන් වීම ගැන අදේවවාදීන් සිතා බැලිය යුතු නොවේද? එපමණක් නොව 20 වන සියවසේදී සොයා ගන්න්නා ලද කරුණක් වන විශ්වයේ ප්රසාරණය ගැනද කුරානයෙන් හෙළිදරව් කොට තිබේ. එවැනි හෙළිදරව්වක් කුරණයෙන් සිදු කල හැකි වන්නේ විශ්වය දෙවියන්ගේ මැවීමක් බැවිනි.
අදේවවාදීන් ඉදිරිපත් කරන මතයන් තහවුරු කිරීම සඳහා වාදයන් පමණක් ඉදිරිපත් කොට ඇත. ඒවාද කාලයෙන් කාලයට වෙනස් කරනු ලැබේ. කෙසේ වෙතත් ඉස්ලාම් දහමින් ඉදිරිපත් කරන කරුණු තහවුරු කිරීම සඳහා නබි වරුන් විසින් ප්රාතිහාර්යන් පා තිබේ (නබිවරුන් යනු දෙවියන්ගේ විශේෂ පණිවිඩ කරුවන් ය). උදාහරණයක් වශයෙන් ජේසු තුමා මළවුන් නැගිටුවා තිබේ. මැටි වලින් කුරුල්ලෙකුගේ අනුරුවක් සදා දෙවියන්ගේ නාමයෙන් ඊට ප්රාණය ලබා දී තිබේ. ලාදුරු රෝගීන් සුවපත් කොට තිබේ. මුහම්මද් නබිතුමා අහස් තරණය කොට අල්ලාහ් වෙත ගොස් නැවත පැමිණ තිබේ. එසේම ඔහු දෙවියන්ගේ නාමයෙන් සඳ දෙපලු කොට නැවත යා කොට ඇත. තවද මුහම්මද් නබි තුමාට පහළ වූ අල් කුරානය අදටත් ප්රාතිහාරයකි. අල් කුරානය පහළ වන්නේ විද්යාව නොදියුණු 7වන සිය වසේදීය. එහෙත් එහි 20වන සියවසේදී සොයාගන්නා ලද බොහෝ විද්යාත්මක සත්යයන් ඇතුලත් වේ. එවැනි දෙයක් සිදු විය හැක්කේ කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් වීම නිසාය.
අදේවවාදීන් අල්ලාහ්ව විශ්වාස නොකළත් විශ්වය පුරා අල්ලාහ්ගේ පැවැත්ම සනාත කිරීමට අවශ්ය සාක්ෂි ඕනෑතරම් තිබේ. වියලිගිය භුමිය මත වරුසාවක් වැසීමෙන් එය නැවත ප්රාණවත් වීම දෙවියන්ගේ සැලැස්මට එක් සාක්ෂියකි. එපමණක් නොව එකම පසෙන් හට ගන්නාවූ ශාක එකම ජලයෙන් සහ වාතය ලබාගෙන විවිධ රසයෙන් සහ ගුණයෙන් යුතු පලතුරු සහ බෝග ලබා දීම දෙවියන්ගේ සැලැස්ම තහවුරු කරන තවත් එක් සාක්ෂියකි. විශ්වය පුරා එවැනි සාක්ෂි තව ඕනෑතරම් සොයා ගත හැකිය.
පරමාණුවේ සිට දැවැන්ත තාරකා දක්වා වූ දේවල් ගැන හැදෑරීමෙන් විශ්වය ගැන මනා අවබෝදයක් ලබා ගත හැකිය. එම අවබෝදය තුලින් දෙවියන්ව තේරුම් ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව සෑම විද්ඥාඥයෙකුම අදේවවාදීන් නොවේ. උදාහරනයක් වශයෙන් අයිසැක් නිව්ටන්, ගැලිලියෝ ගැලිලි, ලෝඩ් කෙල්වින්, රොබට් බොයිල්, මයිකල් ෆැරඩේ, ජෝහාන්ස් කෙප්ලර් වැනි සුප්රකට විද්ඥායින් දෙවියන්ව විශ්වාස කොට තිබේ.
මිනිසාට සත්ව ලෝකයේ සුවිශේෂී තැනක් හිමිවේ. ඒ අනුව ඔහු මෙලොවට පැමිණියේ කොහි සිටද? ජිවිතයේ අරමුණ කුමක්ද? මරණයෙන් පසු ජීවිතය කෙළවර වන්නේ කොතැනද? යන්න දැනගැනීම ඉතා වැදගත් කරුණු වේ. කෙසේ වෙතත් ඒවාට පිළිතුරු දෙවියන් පහළ කරන ලද දහම් පණිවිඩ වලන්ම පෙන්වා දෙන්නේය. ඒවා හැදෑරීම මිනිසා සතු වගකීමකි.
කෙනෙකුට හරි පාර පෙන්වා දිය හැකිය. එහෙත් ඔහු හිතා මතාම වැරදි පාරේ ගොස් අනතුරකට ලක් වුවහොත් කල හැකි දෙයක් නැත. එහි වගකීම ඔහුම භාර ගත යුතුය. මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා බොහෝ නබිවරුන් මෙළොවට පැමිණ තිබේ. ඔවුන්ගෙන් සමහරුන්ට ආගම් පුස්තක පහළ කොට තිබේ. එවැනි ආගම් සතරක නම් කුරානයේ සඳහන් කොට ඇත. කෙසේ වෙතත් අල් කුරානය හැර අනෙක් සෑම ආගම් පුස්තකයක්ම වෙනස්කම් වලට භාජනය වී තිබේ. එහෙත් අල් කුරානය පමණක් එය පහළ වූ භාෂාවෙන් සහ එය පහළ වූ අකාරයටම ආරක්ෂා කොට තිබේ. මේ නිසා අදේවවාදින්ට අවශ්යතාවයක් ඇතොත් එය හදාරා සත්යය වටහා ගත හැකිය.
ඕනෑම දරුවෙකු උපදින්නේ දෙවියන් පිලිබඳ හැඟීමත් සමග ය. මේ නිසා අදේවවාදියෙකු පවා විශාල කරදරයකට මුහුණ පෑ විට දෙවියන්ව සිහි කොට උදව් පතන්නේය. එසේ කරන්නේ මිනිස් සිත් තුල සහජයෙන්ම දෙවියන් පිලිබඳ ඥානයක් සැඟවී තිබෙන නිසාය. මිනිසාගේ වගකීම වන්නේ මරණයට පෙර නිවැරදි දහම කුමක්දැයි සොයා දැනගෙන ඒ අනුව ජිවත් වීමය. එසේ නොකළහොත් එහි විපාක අත්විඳීමට සිදු වනු ඇත.
අදේවවාදීන් මොනතරම් පුරසාරම් දෙඩුවත්, ආත්මය ගැන හෝ මරණයෙන් පසු සිදුවන දේවල් ගැන හෝ දන්නේ නැත. ඒවා ගැන දැනගැනීමට ඔවුන්ට හැකියාවක්ද නැත. එසේ තිබියදී තම මතු ජීවිතය ගැන අවධානය යොමු නොකර සිටීම මුග්ධ කම නොවේද?
By Fasy Ajward, B.Sc(PhysicsSpecial)Hons,Japura.
Comments
Post a Comment