මුස්ලිම්වරුන්ගේ අලුත් අවුරුදු සැමරුම් (New Year Celebrations of the Muslims)



සෑම ජාතින්ටම ආගමික උත්සවයන් තිබේ. ඒ ආකාරයටම මුස්ලිම්වරුන්ටත් අලුත් අවුරුදු උත්සවයන් දෙකක් තිබේ. එම උත්සවයන් දෙක ඊදුල් ෆිතර් සහ ඊදුල් අල්හා ලෙස නම් කොට ඇත. ඊදුල් අල්හා උත්සවය හජ් වන්දනය අවසාන කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්ද ඊදුල් ෆිතර් උපවාස මාසය අවසාන කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්ද පවත්වනු ලැබේ. එම උත්සවයන් දෙකෙහි විශේෂත්වය වන්නේ ඒවා ආගමික ස්වරුපයක් ඉසිලීමයි. මේ නිසා ලොව ඇති අනෙක් ආගමික උත්සවයන්ට වඩා ඉස්ලාම් ආගමින් පෙන්වා දෙන උත්සවයන් දෙක බෙහෙවින් වෙනස් වන්නේය. ඉස්ලාමිය අවුරුදු උත්සව වලදී සැණකෙළි පවත්වනු ලබන්නේ නැත. ඒ වෙනුවට මුස්ලිම් බැතිමතුන් ආගමික වතාවන් වල නියැලෙන්නෝ ය. 

ප්‍රධාන වශයෙන්ම එම දිනයන්හිදී මුස්ලිම්වරුන් තක්බීර් පැවසීමෙන් අල්ලාහ්ව සිහිපත් කරන්නෝය. එය සාමුහික වශයෙන්ද තනි තනිවමද සිදු කරනු ලබේ. එය පවසන අකාරය පහත දැක්වේ. 

اَللهُ اَكْبَرُ– اَللهُ اَكْبَرُ– اَللهُ اَكْبَرُ
لآاِلَهَ اِلاَّاللهٌ وَاللهُ اَكْبَرُاَللهُ اَكْبَرُاَللهُ اَكْبَرُ وَِللهِ الْحَمْدُ

මෙම තක්බීර් පැවසීම අවුරුදු උදාවත් සමග ආරම්භ වන අතර ඊදුල් ෆිතර් සලාතයත් සමග එය අවසාන වන්නේය. එහෙත් ඊදුල් අල්හා උත්සවයේදී තක්බීර් පැවසීම අවසාන වන්නේ අයියාමුල් තශ්රික් දින තුන ගෙවී ගිය පසුව ය. 

මෙම තක්බීර් පැවසීමට අමතරව ඉද් උත්සවයන් වෙනුවෙන් වූ සලාතයක් තිබේ. එම සලාතය සාමුහිකව සිදු කිරීමෙන් පසු එහි පැමිණ සිටින ජනතාව වෙනුවෙන් නබිතුමා දේශනයක් පවත්වා තිබේ. 
නබිතුමා ජිවතුන් අතර සිටින තාක් කල් මෙම ක්‍රමය අනුගමනය කොට ඇත. මෙම උත්සවයන් සිකුරාදා දිනයකට යෙදුනේ නම් ඊද් උත්සවයට සහභාගී වූ කෙනෙකුට ජුම්මා සලාතය ඉටු කිරීම අනිවාර්ය නොවේ. 

ඊද් උත්සව දිනයේදී ස්නානය කිරීම නබිතුමාගේ සුන්නාවකි. එම දිනයේදී තමන් ළඟ තිබෙන හොඳම වස්ත්‍රයෙන් සැරසි සුවඳ තවරාගෙන ඊද් නැමදුම සිදුකරන ස්ථානයට රැස්වීම නබිතුමාගේ මග පෙන්වීමකි. කාන්තාවන්ටද මෙම උත්සවයන් සඳහා සහභාගී වන ලෙස නබිතුමා උපදෙස් දී ඇත. 

නබිතුමා ඊද් උත්සවයට පැමිණි මාර්ගය හැර වෙනත් මාර්ගයකින් සිය නිවස බලා ගොස් තිබේ. එසේ කිරීමෙන් බොහෝ අයට අලුත් අවුරුද්ධ වෙනුවෙන් සුබ පැතීමට අවස්ථාව උදා කරගෙන තිබේ. 

ඊද්-උල්-ෆිතර් උත්සවයට සහබාගි වීමට පෙර හැකියාව ඇති සෑම කෙනෙක්ම තමන් වෙනුවෙනුත් තමන්ගෙන් යැපෙන්නන් වෙනුවෙනුත් ෆිත්රා ඉටු කල යුතුය. එනම් එක් පුද්ගලයෙකු වෙනුවෙන් සහල් කි.ග්‍රැම්. 2.5 ක් දුප්පතුන්ට දිය යුතුය. එය රමළාන් මාසයේදී සිදුවූ වැරදි වලට හිලව් වශයෙන්ද හැකියාව නොමැති සහෝදර මුස්ලිම්වරුන්ට උත්සවය සැමරීමට උදව්වක් ද වේ. 

ඊදුල් අල්හා උත්සවයේ ඇති විශේෂත්වය වන්නේ හැකියාව ඇති සෑම කෙනෙක්ම අල්ලාහ් වෙනුවෙන් උලුහියා ඉටු කිරීමයි. එනම් අල්ලාහ් වෙනුවෙන් එළුවෙකු හෝ බැටළුවෙකු හෝ ගවයෙකු හෝ ඔටුවෙකු කැප කිරීමයි. එහි මාංශවලින් කොටසක් තමන්ගේ පරිබෝජනය වෙනුවෙන් තබාගෙන ඉතිරිය අනෙක් මිනිසුන් අතර බෙදා දෙනු ලැබේ. එහි අදහස සියලු දෙනාටම එම උත්සවය සැමරීමට අවස්ථාවක් ලබා දීමයි. 

By Fasy Ajward. B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)