ඉස්ලාමයේ තුන්වැනි වගකීම වන සකාත් (Zakat, the third responsibility of Islam)
ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ඉස්ලාම් දහමින් බොහෝ ක්රියා මාර්ග ගෙන තිබේ. ඉන් ප්රධන තැනක් ගන්නේ සකාත් ය. එහි වැදගත් කම නිසාම කුරානයේ සලාතය ගැන සඳහන් වන සෑම තැනම සකාත් ගැන සඳහන් වේ. සකාත් ගෙවීමට සුදුසුකම් ලබා තිබියදීත් එය පැහැර හැරීම විශාල වරදකි. තවද, සකාත් ගෙවීමට අවශ්ය නැතැයි පැවසන තැනැත්තා ඉස්ලාම් දහමින් ඉවත් වන්නේය.
සකාත්, ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට ඇති කරුණු පහෙන් තුන්වන ස්ථානය ගන්නේ ය. එම බද්දට යටත් වන්නේ දහමින් නියම කොට ඇති අවම ප්රමාණයට වඩා වැඩියෙන් ධනය ඇති අය පමණි.
සකාත් නිසා දුගී ජනතාවට විශාල සහනයක් සැලසෙන්නේය. එය ගෙවීම නිසා කෙනෙක් දුප්පත් වන්නේ නැත. සහිහ් බුහාරි ග්රන්ථයේ දැක්වෙන අන්දමට සකාත් ගෙවන තැනැත්තන්ගේ ධනය තව දුරටත් වර්ධනය වේ. එසේම එය මතු ජීවිතය සඳහා විශාල ආයෝජනයකි. එබැවින් අල්ලාහ් කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති සෑම කෙනෙකුම ඉතා ඕනෑකමින් තම ධනය වෙනුවෙන් ගෙවිය යුතු සකාත් නිසි ලෙස ඉටු කරන්නේය.
සකාත් වලට යටත් වන්නේ රන්, රිදී, මුදල් නෝට්ටු, ව්යාපාර වස්තු, එළුවන්, බැටළුවන්, ඔටුවන් වැනි සිව්පා සතුන් සහ රට ඉඳි සහ ධාන්ය වර්ග වේ. එම ද්රව්ය සඳහා සකාත් ගෙවිය යුතු ක්රමය ෂරියා නීතියෙන් පෙන්වා දී තිබේ. ඒ අනුව රන්, රිදී, මුදල් නෝට්ටු, ව්යාපාර වස්තු වල වටිනාමකම, රත්රන් ග්රෑම් 85 කට හෝ රිදී ග්රෑම් 595 ක වටිනාකමට වඩා වැඩි වන්නේ නම් ඒවාට සකාත් ගෙවිය යුතුය. ඒ අනුව එහි වෙළඳ පොළ වටිනාකමින් 2.5%ක් සකාත් වශයෙන් ගෙවිය යුතුය. ධාන්ය සඳහා සකාත් ගෙවිය යුත්තේ ඒවා නෙලා ගත් අවස්ථාවේදීය.
සකාත්, ඒවා ලැබීමට සුදුසුකම් ඇති අයට පමණක් ලබා දිය යුතුය. ඔවුන් කව්රුන්ද යන්න, කුරානයේ මෙසේ දැක්වේ. "(සකාත් නමැති අනිවාර්ය වූ) දානය දිලින්දන්ටද, දුප්පතුන්ටද, එම කාර්ය සඳහා සේවය කරන්නන්ටද, (ඉස්ලාමය වෙත) සිත් ඇදී සිටින්නන්ටද, වහලුන්ව නිදහස් කිරීමටද, ණයකරුවන්ටද, අල්ලාහ්ගේ මගෙහි සිටින්නන්ටද, මගියාටද අයත් වේ" (කුරානය 9:60).
කෙනෙකුගෙන් යැපෙන්නන් හට සකාත් ලබා දීමට නොහැකිය. ඒ අනුව තම දෙමව්පියන්ට හෝ දුවා දරුවන්ට සකාත් මුදල් ලබා දීමට නොහැකිය. ඔවුන්ට සැලකීම තම වගකීමක් වේ.
සකාත් වලට අමතරව උපවාස මාසය අවසානයේදී දුප්පතුන් වෙනුවෙන් ධාන්ය ලබා දීම සඳහා නියෝග කොට තිබේ. ඒ සඳහා සුදුසුකම් සම්පුර්ණ කරන සෑම කෙනෙකු විසින්ම ඊද් උත්සවයට පෙර එය සිදු කල යුතුය.
මේවාට අමතරව තමන් කැමති ඕනෑම කෙනෙකු සදකා සදකා ලබා දිය හැකිය. සදකා යනු යම් කෙනෙකු විසින් ස්වෙජ්ජාවෙන් දෙනු ලබන දීමනාවකි.
සකාත් නිසා ජනතාවට අතර සුහදත්වය ඇති වන්නේය. තවද සකාත් ගෙවීමෙන් පසු ඉතිරිවන ධනය, එය ඉපයීමේදී සිදුවූ සුළු වැරදි සඳහා සමාව ලැබීමට හේතුවකි.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path
Comments
Post a Comment