අල්ලාහ් සමාව නොදෙන පාපයන් කුමක්ද? (What are the sins that Allah does not forgive?)
පොදුවේ සෑම පවකටම සමාව තිබේ. එහෙත් අල්ලාහ් සමග වෙනත් දේවල් සම කරමින් සිටියදී යම් කෙනෙක් මිය ගියේ නම් ඔහුට මතු ජීවිතයේදී සමාව ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් අල්ලාහ්ට සමානයන් ඇති කිරීම හැර අනෙක් වරදවල් සඳහා ඔහු කැමති අයට සමාව දෙන්නේය.
"නියත වශයෙන්ම අල්ලාහ්ට සමානයන් ඇති කිරීම වෙනුවෙන් ඔහු සමාව නොදෙන්නේය, එහෙත් එම වරද හැර වෙනත් දේවල් සඳහා ඔහු තමන් කැමති අයට සමාව දෙන්නේය: කවරෙක් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහු මහා පාපයක් ඇති කල කෙනෙකි" (කුරානය 4:48).
මළවුන්ගෙන් ප්රාර්ථනා කිරීම හෝ ඔවුන් වෙනුවෙන් පඩුරු දැමීම හෝ අල්ලාහ්ට පමණක් කළ හැකි දේවල් මිනිසුන්ගෙන් බලාපොරොත්තු වීම අල්ලාහ්ට සමානයන් ඇති කිරීමක් ලෙස සැලකේ. එම වැරදි මහා පාපයන් වේ. ඒ අනුව යම් කෙනෙක් එවැනි වැරදි වල නියත වුයේ නම් ඔහු මිය යාමට පෙර පසුතැවිලි වී අල්ලාහ්ගෙන් සමාව අයැදිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් ඉහත කුර්ආන් වැකියෙන් සිදු කොට ඇති අනතුරු හැඟවීම ගැන නැවත සිතා බැලිය යුතුය.
අල් කුරානය පහළ වීමට පෙර පැවති දහම් පණිවිඩවල මුහම්මද් නබිතුමාගේ පැමිණීම ගැන පැහැදිලිව සඳහන් කොට තිබී ඇත. කෙසේ වෙතත් ඇතැම් පුජකවරුන් ඔවුන්ගේ ලෞකික වාසි ප්රයෝජන තකා ඒවා වසම් කළහ. ඔවුන්ට නිරයේ හිංසාකාරී වේදනාවන් ඇති බව කුරානයේ දැක්වේ.
තවද, දහම ගැන දැන උගත් අය විසින් ජනතාවට සත්යය වසන් කිරීමත් සත්යය කරුණු වෙනුවට දහමේ නැති දේවල් ඉගැන්වීමත් මහා පාපකාරී ක්රියාවන් වේ. ඒ අනුව නබිතුමා සම්පුර්ණ කරන ලද දහම තුලට අලුත් ඇදහිලි ඇතුලත් කිරීම මහා පාපයක් වේ. නබිතුමාගේ හදිසයක දැක්වෙන අන්දමට දහම තුලට අලුතින් ඇතිකරන සියලුම දේවල් නොමග ගිය ඒවා වන අතර නොමග ගිය සෑම දෙයක්ම නිරයට අයත් වේ.
"නියත වශයෙන්ම කවරෙක් අල්ලාහ්ගේ පුස්තකයෙහි පහළ කළ දැය සඟවාගෙන එමගින් අල්ප මිලක් ලබාගන්නේද, ඔවුන් තම උදරය තුලට ගින්න මිසක් වෙන දෙයක් අනුභව නොකරති. විනිශ්චය දිනයේදී ඔවුන් සමග අල්ලාහ් කථා නොකරන්නේය. ඔවුන්ව (පව්වලින්) පිරිසිදු කරන්නේද නැත. ඔවුන්ට හිංසාකාරී වේදනාවක්ම ඇත" (කුරානය 2:174).
කෙසේ වෙතත් යම් කෙනෙක් මිය යාමට පෙර තමන් කරමින් සිටි වරදේ බැරෑරුම් කම තේරුම් ගෙන පසුතැවිලි වුවහොත් අල්ලාහ් ඔවුන්ට සමාව දෙන බව මෙම කුර්ආන් වැකියෙන් පෙන්වා දී තිබේ.
"පවසනු: තමන් විසින්ම තමන්ගේ සීමාව ඉක්මවා (වැරදි කරගත්) මාගේ ගැත්තනි! නුඹලා අල්ලාහ්ගේ දයාව කෙරෙහි විශ්වාසය අත් නොහරිනු! නියතව අල්ලාහ් සියළුම පව් සමා කරන්නාය. ඇත්ත වශයෙන්ම ඔහු අධිකව ක්ෂමා කරන්නාද, අසම දයාවන්තයාද වේ" (කුරානය 39:53).
මතු ජීවිතය සමග සැසඳීමේදී ලෞකික ජීවිතය ඉතා අල්ප එකක් වේ. එසේ තිබියදී එම ජිවිතයට සුදානම් නොවී සිටීම මුග්ධ කමකි.
මරණයෙන් පසු ජිවිතය ජය ගැනීම සඳහා කල යුතුව තිබෙන්නේ ඉතා සුළු දෙයකි. එසේ වුවද ඒ ගැන සිත් යොමු කරන්නේ ඉතා සුළු පිරිසකි. ඒ ගැන අවදානය යොමු නොකළ අයගේ ඇස් ඇරෙන්නේ මරණ මන්චකයේදීය. එහෙත් එම අවස්ථාව උදාවූ පසු ආපසු හැරීමක් නැති බව දැන්ම තේරුම් ගත යුතුය.
By Fasy Ajward.B.Sc(Physics Special)Hons, Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment