ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූ බව පැවසීමේ සත්‍යයක් තිබේද? (Is there any truth to the claim that Islam spread by the sword?)


ඉස්ලාම් දහම ව්‍යාප්ත වුයේ කඩුවෙන් බවට වැරදි මතයක් පවතී. නමුත් එහි කිසිඳු සත්‍යතාවයක් නැත. එවැනි ක්‍රම මගින් ලෞකික අරමුණු වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයක සාමාජිකයින් ගොඩ වැඩිකළ හැකි වුවත්, මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා ඇති ආගමකින් එසේ කල නොහැක.

ඉස්ලාම් යනු දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය මත ගොඩනැගුණු ආගමකි..විශ්වාසය සිත හා සම්බන්ද වී ඇත. එබැවින් කිසිවෙකුට කඩුවෙන් බිය වද්දා ඔහුගේ සිත තුලට විශ්වාසය ඇතුලත් කල නොහැක. දෙවියන් බලන්නේ කෙනෙකුගේ හදවත මිස රුපය නොවේ. එබැවින් කෙනෙක් අවංකව දෙවියන්ව විශ්වාස කොට ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබුනේ නම් ඔහුට කුලිය වශයෙන් ස්වර්ගය ලැබීමට නියමිතය. එහෙත් කෙනෙකුගේ බල පෑම නිසා ව්‍යාජ ලෙස ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබුනේ නම් එම තත්වය උදාවන්නේ නැත. 

ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වූ බව කියන උදවිය කුරානයේ ඇති මෙම වැකි නොදුටුවා විය හැකිය. "මෙම ධර්මය (වැළඳ ගැනීමෙහිලා) කිසිඳු බල කිරීමක් නැත" (කුරානය 2:256). තවත් තැනක මෙසේ දැකිය හැකිය. "පවසනු! සත්‍යය ඔබගේ පරමාධිපතිගෙන් ලැබෙන දෙයකි. එහෙත් කැමති කෙනෙකුට එය විශ්වාස කල හැකිය. කැමති කෙනෙකුට එය ප්‍රතික්ෂේප කළ හැකිය" (කුරානය 18:29). තවත් තැනක මෙසේ දැක්වේ. "ඔබගේ දෙවිඳුන් සිතා සිටියේ නම් පොළොවෙහි සිටින සියල්ලෝම විශ්වාස කර තිබෙන්නොය. (එසේ තිබියදී) මිනිසුන් විශ්වාසවන්තයින් ලෙස වෙනස් විය යුතු යැයි ඔබ ඔවුන්ට බල කරන්නෙහි ද?" (කුරානය 10:99). මෙම වගන්තිවලින් පෙනී යන්නේ ඉස්ලාම් දහම් කෙනෙකුගේ කැමැත්ත අනුව තෝරාගත යුතු එකක් බවයි. 

මිනිසා මේ ලෝකයට පය තැබූ දා පටන් ඔහුගේ නියෝජිතයින් හරහා ඉස්ලාම් දහම මිනිසාට ඉදිරිපත් කොට තිබේ. අවසාන වශයෙන් එය මුහම්මද් නබිතුමාට පහළ වූ කුරානය මගින් සම්පුර්ණ විය. එය පිළිගැනිම හෝ ප්‍රතික්ෂේප කිරීම මිනිසා සතු කාර්යයකි. එම කරුණ, අල් කුරානයේ මෙසේ පවසා ඇත. "(නබියේ) පවසනු! මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය නුඹලා හමුවට පැමිණ ඇත. (එමගින්) කවරෙක් යහමග ලබයිද ඔහු තමාටම යහපතක් කරගනියි. කවරෙක් මංමුලාවෙහි ගමන්කරයිද ඔහු තමාටම එරෙහිව නොමගෙහි යන්නෙකි. මා නුඹලාට භාරකාරයෙක් නොවෙමි" (කුරානය 10:108). ඒ අනුව නබිතුමාගේ කාර්ය වන්නේ ඔහුට ලැබුණු දහම මිනිසාට ඉදිරිපත් කිරීම පමණි. 

ඉස්ලාම් ආගම බලෙන් පටවා ගත හැකි ආගමක් වුයේ නම්, නබිතුමා මුලින්ම එය පිළිගැනීමට තම ඥාතීන්ට බල කරනු ඇත. එහෙත් ඔහුගේ පියාගේ සහෝදරවරුන් බොහෝ දෙනෙක් එය වැළඳ ගත්තේ නැත. කෙසේ වෙතත් නබිතුමා ඔහුගේ සුළු පියාගෙන් ඉස්ලාම් දහම වැළඳ ගැනීම සඳහා බැගෑපත්ව ඉල්ලා සිටීම නිසා මෙම කුර්ආන් පාටය පහළ විය. "(නබි නුමනි!) නුඹගේ මනාපය පරිදි කෙනෙකුව යාහ මගෙහි යැවිය නොහැක. එහෙත්, අල්ලාහ් තමන් කැමති අයව යහමගෙහි යවන්නේය. ඔහුම යහමගෙහි යන්නන් ගැන වඩාත් හොඳින් දනියි" (කුරානය 28:56).. 

ඉස්ලාම්, කඩුවෙන් ව්‍යාප්ත වූ බව සත්‍යයක් නම් නබිතුමා මක්කාව ජය ගත් අවස්ථාවේදී එහි සිටි සියලු දෙනාවම බලෙන් ඉස්ලාම් දහමට හරවා ගැනීමට හැකිව තිබුනේය. එහෙත්, නබිතුමා කළේ ඔවුන් සියලු දෙනාටම පොදු සමාව පිරි නැමීම ය. එම පොදු සමාවෙන් පසු, අබු සුෆියාන් ඇතුළු බොහෝ දෙනා ස්වෙජ්ජාවෙන් ඉස්ලාම් දහම වැළඳ ගත්තෝය. 

ඉස්ලාම් දහම වැළඳ ගැනීමට අවශ්‍ය නැතැයි සිතන තාක් කෙනෙකුට එය ලැබෙන්නේ නැත. එහෙත් කෙනෙකුට එහි අවශ්‍යතාවය ඇතිවූ විට අල්ලාහ් ඔහුට එය පිරිනමන්නේය.  "කවරෙක් අල්ලාහ්ව විශ්වාස කරත්ද, (අල්ලාහ්) ඔහුගේ හදවත නිවැරදි මගෙහි යවන්නේය" (කුරානය 64:11). 

ඉස්ලාම් දහම එදා මෙන්ම අදත් ව්‍යාප්ත වන්නේ එහි ඇති සත්‍යතාව සහ නිරවුල් භාවය නිසාය. ඉන්දුනීසියාව ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් වුයේ යුද්ධයකින් නොව, එහි ගිය වෙළඳුන්ගේ අවංකභාවය නිසාය. අදටත් බටහිර රටවල්වල ඉස්ලාම් දහම වේගයෙන් ව්‍යාප්ත වන්නේ කඩුවෙන් නොව, ඉස්ලාම් දහම ගැන ඔවුන් හදාරන නිසාය.

M.F.Ajward.B.Sc(Physics.Special) Hons,Japura. 
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)