ඉස්ලාමයේ හලාල් සහ හරාම් සංකල්පය (Halal and Haram concept in Islam)



ෂරියා නීතියෙන් අවසර ලබා දී තිබෙන සියලුම දේවල් හලාල් ලෙසද ඊට විරුද්ධ දේවල් හරාම් ලෙසද සලකනු ලැබේ. මිනිස් පරිබෝජනයට සුදුසු දේවල් සම්බන්දයෙන් අල් කුරානය මෙසේ පවසයි. "මිනිසුනි! මිහිපිට ඇති අනුමත කරනු ලැබූ පිරිසිදු දේවල් පමණක් අනුභව කරනු, සාතන්ගේ අඩිපාර පිලි නොපදිනු. නියත වශයෙන්ම ඔහු නුඹලාගේ ප්‍රකට සතුරෙකු වේ" (කුරානය 2:168). තවද මිනිස් පරිබෝජනයට සුදුසු නොවන දේවල් සම්බන්දයෙන් කුරානය මෙසේ පවසා ඇත. "ඉබේම මළ දෑ, රුධිරය, සුකර මාංශ, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් ඝාතනය කරනු ලැබූ සතුන් ආදිය නුඹලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දෑ, පහර කෑමෙන් මළ දෑ, උස්තැනක සිට වැටීමෙන් මළ දෑ, අං වලින් අනිනු ලැබීමෙන් මළ දෑ, වනසතුන් සපා කෑමෙන් මළ දෑ යනාදියද (තහනම් කර ඇත)" (කුරානය 5:3). මින් අදහස් කරනු ලබන්නේ සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට මග පෙන්වීම වේ. 

ඉබේ මල සත්වයින්ගේ ශරීරයේ ඇති රුධිරය මෙන්ම එම මාංශ අහාරය පිණිස සුදුසු නොවන්නේ එහි තිබිය හැකි විෂබීජ නිසාය. එසේම සුකර මාංශ වල ඇති පට් පටිපනුවන් නිසා නොයෙකුත් භයානක ලෙඩ රෝග වැළඳිය හැකිය. තවද එහි ඇති මේදය නිසා රුධිර නාල වල අවහිරතා ඇති විය හැකිය. මාංශ බක්ෂක සතුන්, රාජාලියන් වැනි සතුන්ගේ මාංශ අනුභව කිරීමෙන් මිනිසාට උන්ගේ ගති ලක්ෂණ ඇති විය හැකිය. ඒ අනුව උන්ගේ මාංශ අනුභව කිරීමෙන් ශාරීරික පමණක් නොව අධ්‍යාත්මික බලපෑම් ද ඇති වන්නේය. ඒ ගැන මානව විද්‍යාඥයින් පවා සඳහන් කොට තිබේ. උදාහරනයක් ලෙස සුකර මාංශ අහාරයට ගැනීමෙන් කෙනෙකුගේ ලජ්ජා ශීලි බව නැතිවන බව පවසනු ලැබේ. රුධිරය ගැන සැලකීමේදී එය ශුද්‍ර ජීවින් සඳහා ඉතා හොඳ තෝතැන්නකි. මේ නිසා රුධිරය අනුභව කිරීමෙන් ලෙඩ රෝග වැළඳීමේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නේය. 

මත්පැන් සහ සුදුව සම්බන්දයෙන් කුරානය මෙසේ පවසා තිබේ. "විශ්වාස වන්තයිනි! මත්පැන් ද, සුදු කෙලිමද, (නැමදුම් සඳහා ) සිටුවා ඇති ඒවාද, නිමිති බලන ඊතල ද, පිළිකුල් කල යුතු සාතන්ගේ ක්‍රියාවල ඇති ඒවාය. එබැවින් නුඹලා ජය ගැනීම පිණිස ඒවායින් වැලකී සිටිනු" (කුරානය 5:90).

ඉහත කරුණු වලට අමතරව මුස්ලිම්වරුන් කරන රැකියාවන්ද හලාල් විය යුතුය. ඒ අනුව පොළී ගනු දෙනු කරන ආයතනවල, තැබෑරුම්වල, ගණිකා මඩම්වල මුස්ලිම්වරුන්ට රැකියා කිරීම හරාම් වේ. එසේම හලාල් රැකියාවක නිරත වුවත් පගාව ගැනීම හෝ එය දීම හරාම් වේ. නබිතුමා පවසා ඇති පරිදි පගාව ගත් තැනැත්තා සහ පගාව දුන් තැනැත්තා යන දෙදෙනාම නරකාදියට යන්නේය. මේ නිසා තමන් ගනු ලබන වේතනයට සරිලන අවංක සේවයක් ලබා දීම මුස්ලිම්වරයෙකුගේ යුතුකම වේ. 

මෑත කාලයේදී හලාල් සහතිකයක් ගැන ඇසීමට ලැබෙන්නේය. එවැනි දෙයක් අවශ්‍ය වන්නේ වෙළඳ පොලේ ඇති භාණ්ඩ හඳුනා ගැනීම සඳහා ය. ඉන් වැඩි වාසිය අත් වන්නේ මුස්ලිම්වරුන්ට වඩා එම භාණ්ඩ විකුණන ව්‍යාපාරිකයින්ට ය. ඇයිද යත් එමගින් ඔවුන්ට ඉතා විශාල වෙළඳ පොළක් හිමිවන නිසාය. 

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)