හජ් වන්දනය සහ ඉබ්රාහිම් නබි තුමා අතර ඇති සම්බන්දය කුමක්ද? (What is the connection between the Hajj pilgrimage and Prophet Abraham?)
ඉබ්රාහිම් නබිතුමා වසර පන්දහකට පමණ පෙර ඉරාකයේ උපත ලැබිය. එතුමා දෙවියන්ගේ පරීක්ෂාවන්ට සාර්ථක ලෙස මුහුණ දීම නිසා ඔහුට "කලිලුල්ලාහ්" හෙවත් "අල්ලාහ්ගේ මිතුරා" යන අන්වර්ථ නාමයද ඇත. කිතුනු දහම දේශනා කල ජේසු තුමාද, අල් කුරානය දේශනා කල මුහම්මද් නබිතුමාද පැවත එන්නේ එතුමාගේ පරම්පරාවෙන් ය. මේ හැර එතුමාගේ පරම්පරාවෙන් තව බොහෝ නබිවරුන් පැමිණ තිබේ. යුදෙව් ආගම දේශනා කල මුසා නබි තුමා පැවත එන්නේද එතුමාගේ පරම්පරාවෙන් ය.
හජ් වන්දනය සහ ඉබ්රාහිම් නබිතුමාගේ ජීවිතය අතර සුවිශේෂී සම්බන්දයක් තිබේ. ඒ අනුව හජ්වන්දනය පුරාවට ඉබ්රාහිම් නබිතුමා සිදු කල කැපකිරීම් වලට ගෞරව කිරීමක් වශයෙන් ඒවා නැවත සිහි කිරීමක් කරනු ලැබේ. එපමණක් නොව හජ් වන්දනය ඉස්ලාම් දහමේ අනිවාර්ය කුළුණු පහෙන් එකක් බවට පත් කොට ඇත.
මුස්ලිම්වරුන්ගේ ප්රධාන දේවස්ථානයක් වන කව්බාව මුලින්ම ප්රතිනිර්මාණය කළේ ඉබ්රාහිම් නබි තුමා සහ ඔහුගේ පුත් ඉස්මායිල් යන දෙදෙනා ය. එය නිර්මාණය කිරීමෙන් පසු, ඉබ්රාහිම් නබිතුමා අල්ලාහ්ගේ නියෝගය අනුව, අරෆා කන්දට නැග, හජ් වන්දනය සඳහා අරාධනා කළේය.
"තවද. හජ් වෙනුවෙන් ජනයාට අරාධනා කරනු. ඔවුන් පා මගින්ද, දුරින් වූ සියලු මාවත් හි සිට පැමිණෙන එක් එක් කෙට්ටු ඔටුවා මතද, නුඹ හමුවට පැමිනේන්නෝය" (කුරානය 22:27).
අද වන විට වසරක් පාසා මිලියන සංඛ්යාවක් මුස්ලිම් බැතිමතුන් හජ් වන්දනය ඉටු කිරීම සඳහා මක්කාව බලා ඇදී යන්නෝය.
හජ් වන්දනාවේ ප්රධාන අංග වන සාතන්ට ගල් ගැසීම, සෆා සහ මර්වා කඳු දෙක අතර දිවීම සහ උලුහියා පූජා කිරීම යන සියල්ල නබි ඉබ්රාහිම් තුමාගේ ජීවිත කතාව හා සම්බන්ධ වේ. එම කතා පුවත ආරම්භ වන්නේ මෙසේය. ඉබ්රාහිම් නබිතුමා මහලු වියට පත්වූ පසු ඔහුට පැවරී තිබුණු රාජකාරිය ඉදිරියට ගෙන යාම සඳහා දරුවෙකු ලබා දෙන මෙන් අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කළේය. ඔහු එම ප්රාර්ථනාව කරන විටත්, ඔහුගේ වයස 80ව ඉක්මවා ගොස් තිබුනේය. කෙසේ වෙතත් එම ප්රාර්ථනාව පිළිගත් අල්ලාහ්, ඔහුට ඉස්මයිල් නමැති පුතෙකු ලබා දුන්නේය.
අල්ලාහ්, ඉබ්රාහිම් නබිතුමාව පරික්ෂා කිරීම පිණිස, එම බිලිඳා සහ ඔහුගේ මව හජරා තුමිය, කාන්තාරයේ හැර දමා එන ලෙස නියෝග කළේය. එම නියෝගයට පුර්ණ එකඟතාවය පල කල ඉබ්රාහිම් නබි තුමා, හාජරා තුමියව සහ ඇයගේ අලුත උපන් පුතාව අද කාබාව තිබෙන ස්ථානයට ගෙනගොස් හැරියේය.
ඉබ්රාහිම් නබිතුමා ආපසු හැරී යන විට ඔහුගේ නම කියමින් හාජරා තුමිය ඔහුට කතා කළාය. එහෙත් ඊට සවන් නොදී එතුමා දිගටම යමින් සිටියේය. එවිට හාජරා තුමිය, "ඕ ඉබ්රාහිම් මේ අල්ලාහ්ගේ නියෝගයක් දැයි" විමසා සිටියාය. එවිට ඉබ්රාහිම් නබි තුමා තම ඔලුව සොලවා සංඥා කළේ එය අල්ලාහ්ගේ නියෝගයක් බවයි. එය දුටු හාජරා තුමිය, "එසේ නම් අල්ලාහ් අපව බලා ගනීවි" යැයි කියා සිටියාය. මෙය වචයෙන් කීම පහසු දෙයක් වුවත් ක්රියාවෙන් පෙන්වීම ඉතා භාර දුර කාර්යයක් වනවාට සැකයක් නැත,
මක්කා නගරය අද මෙන් ජනාවාසයක් වුයේ නැත. එබැවින් අල්ලාහ්ගේ උදව්ව මිස වෙන කිසිවෙකුගේ පිහිටක් ඇයට නොලැබුනේය. එසේ තිබියදී ඇය රැගෙන ගිය අහාර පානද අවසාන විය. එබැවින් ඇය මහත් කනස්සල්ලට පත් වුවාය. ඇයගේ කුඩා දරුවාද කුසගින්නෙන් හඬන්නට විය. ඇයට කල හැකි එකම දෙය වුයේ අසල පිහිටි සෆා කඳු ගැටයට නැග කව්රුන් හෝ එම ස්ථානයෙන් යනවාදැයි බැලීම ය. එහෙත් ඇයට කිසිවෙකු දැක ගත හැකි වුයේ නැත. මේ නිසා ඉන් තරමක් දුටින් පිහිටි මර්වා කඳු ගැටය දෙසට ඇය දුවගෙන ගියේ කව්රුන් හෝ එම ස්ථානයෙන් යනවාදැයි බැලීම සඳහා ය. එහෙත් එහිද ඇයට කිසිවෙකු දැක ගත හැකි වුයේ නැත. අසරණ වූ ඇය උපේක්ෂාවෙන් නැවත නැවතත් සෆා සහ මර්වා කඳු ගැට දෙක අතර දුවන්නට විය. එම අවස්ථාවේදී ජිබ්රිල් නමැති දේව දුතයා පැමිණ ඉස්මායිල් තුමාගේ පාදය ළඟ ඔහුගේ අත්තටු වලින් ගැසූ විට දිය උල්පතක් මතු විය. හාජරා තුමිය වහාම එම ස්ථානයට ගොස් හිබ්රු බසින් "සම් සම්" යැයි පවසමින් එම උල්පත වටා වැලි එකතු කොට ජලය රැස්කර ගත්තාය. නබිතුමා පැවසුවේ එදා ඇය එම දිය උල්පත වටා වැලි එකතු කලේ නැතිනම් එය ගංගාවක් ලෙස ගලා බසිනු ඇති බවයි.
ඉබ්රාහිම් නබිතුමා සහ ඔහුගේ දරු පවුල එදා කල කැප කිරීම නිසා ලැබුණු ජල උල්පත "සම් සම් ලිඳ" යැයි නම් කොට තිබේ. එම ලිඳෙන් සාමාන්ය දිනකට ජලය ලීටර 150,000 ක් පමණ පොම්ප කරන අතර හජ් උත්සව සමයේදී ලීටර 450,000 ක් පමණ පොම්ප කරනු ලැබේ. කාන්තාරයේ පිහිටි එම ලිඳෙන් මෙතරම් ජලයක් පොම්ප කිරීමට හැකිවීම සැබවින්ම ප්රාතිහාරයකි.
කාලය ගෙවී යත්ම, ඊබ්රාහිම් නබිතුමා අල්ලාහ්ගෙන් තවත් විශාල පරීක්ෂාවකට ලක් විය. මේ අවස්ථාවේදී, ඉස්මායිල් තුමාව අල්ලාහ් වෙනුවෙන් පූජා කිරීම සඳහා වන නියෝගය තුන්වරක්ම සිහිනයෙන් දුටුවේය. එය ඉතා දැඩි පරීක්ෂාවක් වනවාට කිසිම සැකයක් නැත. තම දරුවා තම අතින්ම ඝාතනය කිරීම ලේසි පහසු වැඩක් නොවේ. එහෙත් එය දෙවියන්ගේ නියෝගයක් බැවින් ඊට එකඟ විය. ඉබ්රාහිම් නබිතුමා, ඔහු දුටු සිහිනය තම පුත් ඉස්මයිල් සමග පැවසූ විට, දෙවියන් කෙරෙහි දැඩි බක්තියක් තිබුණු ඔහු, ඊට පුර්ණ එකඟතාවය පල කර සිටියේය.
දිනක්, ඉබ්රාහිම් නබි තුමා තම පුතු සමග මීනා නගරය වෙත ගියේ ඔහු දුටු සිහිනය ඉටු කිරීම සඳහා ය. එම ගමනේදී සාතන් කිහිප ස්තානයකදිම ඔවුන්ට බාදා කළේය. ඒ සෑම අවස්තාවකදීම ඉබ්රාහිම් නබි තුමා, සාතන්ට ගල් වලින් පහර දුන්නේය. එම ස්ථාන වල අද කුළුණු ස්ථාපනය කොට ඇත. හජ් වලට යන සෑම බැතිමතෙකුම, සාතන්ව සංකේතවත් කරන එම කුළුණු වලට අදත් ගල් ගසන්නේය. එය හජ්වල අනිවාර්ය අංගයකි.
ඉබ්රාහිම් නබිතුමා තම පුත් ඉස්මායිල්ව, අල්ලාහ් වෙනුවෙන් ඝාතනය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ජිබ්රියෙල් දේවදූතයා බැටළුවෙකු රැගෙන විත්, අල්ලාහ් ඔහුගේ උත්සාහය පිළිගත් බව පවසා, ඉස්මයිල් වෙනුවට ඔහු ගෙනෙන ලද බැටළුවා ඉස්මායිල් වෙනුවෙන් ඝාතනය කරන ලෙස නියෝග කළේය. අදත් මුස්ලිම්වරුන් උලුහියා යන නමින් සිව්පා සතෙකු ඝාතනය කොට එහි මාංශ මිනිසුන් අතර බෙදා දෙන්නේ එදා ඉබ්රාහිම් නබි තුමා සිදු කල දේ සිහි කිරීම පිණිසය.
ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති සෑම දෙයකින්ම මිනිසාට ප්රයෝජනයක් සිදු වේ. ඒ අනුව උලුහියා ලෙස සිව්පා සතෙක් ඝාතනය කොට එහි මාංශ ජනතාව අතර බෙදා දීමෙන් බොහෝ දුප්පත් අයට වසරකට වරක් හෝ මාංශ ආහාරයක් අනුභව කිරීමට අවස්ථාව උදාවේ. මිනිස් සිරුරට අත්යාවශ්ය ඇමිනෝ අම්ල සියල්ලම ලබා ගත හැකි වන්නේ මාංශ වලින් පමණි. එම ඇමිනෝ අම්ල සියල්ලම මිනිස් සිරුර තුල නිෂ්පාදනය වන්නේ නැත. එබැවින් සෞඛ්ය සම්පන්න ජිවිතයක් සඳහා ඒවා පිටින් ලබා ගත යුතුව ඇත.
By Fasy Ajward.B.Sc (Physics Special) Hons, Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment