අහංකාරකම පිලිබඳ ඉස්ලාමීය අනතුරු ඇඟවීම (Islamic warning about pride)


පුද්ගලයෙකුගේ ඇදහිල්ල අහෝසි කළ හැකි විනාශකාරී ආධ්‍යාත්මික රෝගක් ලෙස අහංකාරකම පෙන්වා දිය හැක. අහංකාරකමට අරාබි බසින් 'කිබ්ර්' යැයි කියනු ලැබේ. නබිතුමා පවසා ඇති ආකාරයට කෙනෙකුගේ සිතේ අනු ප්‍රමාණයක්වත් අහංකාරකම තිබුනේ නම් ඔහුට ස්වර්ගය තහනම් වේ. අල්ලාහ් අහංකාරය ප්‍රිය නොකරන බව කුරානය තුල මෙලෙස සඳහන් වේ. "ඔහු (අල්ලාහ්) අහංකාරය පෙන්වන්නන්ව ප්‍රිය නොකරන්නේය" (කුරානය 16:23). එමගින් මිනිසා අල්ලාහ්ගෙන් දුරස් වේ. 

උඩඟු කම යනු කෙනෙක් තවත් කෙනෙකුව පහත් කොට සැලකීම යි. එහෙත් හොඳ ඇඳුම් ඇඳීම හෝ හොඳ පාවහන්වලට ප්‍රිය කිරීම අහංකාරකම නොවේ. කෙසේ වෙතත් සහාබාවරුන් එසේ කිරීම අහංකාර කමේ එක් ආකාරයක්දැයි කනස්සල්ලට පත් වුහ. එවිට නබිතුමා එම කරුණ මෙසේ පැහැදිලි කළේය: "සැබැවින්ම අල්ලාහ් අලංකාරය; ඔහු අලංකාරය ප්‍රිය කරයි. එහෙත් අහංකාරකම යනු සත්‍යය ප්‍රතික්ෂේප කිරීම සහ මිනිසුන්ව පහත් කොට සැලකීම බව පැහැදිලි කළේය" (සහීහ් මුස්ලිම්) මෙම ප්‍රකාශයෙන් පෙනී යන්නේ පිළිවෙළකට පෙනී සිටීම වරදක් නොවන බවයි. එහෙත් අන් අයව පහත් කොට සැලකීම වරදකි.

අහංකාරකම අල්ලාහ් අනුමත කරන්නේ නැත. එබැවින් කුරානයේ මෙලෙස සඳහන් වේ.. "(අහංකාරකම හේතුවෙන්) නුඹගේ මුහුණ මිනිසුන්ගෙන් හරවා නොගන්න. තවද, පොළොව මත අහංකාර ලෙස ගමන් නොකරන්න. නියත වශයෙන්ම අල්ලාහ් අහංකාරයින්ව ප්‍රිය නොකරයි". අහංකාරයින් අවමානයට මුහුණ දෙන බවත්, සදාකාලිකවම නිරයේ වාසය කරන බවත් කුර්ආනය අනතුරු අඟවයි (කුර්ආනය 40:76).

මුලින්ම උඩඟු කම ප්‍රදර්ශනය කලේ සාතන් ය. ඔහුගේ අහංකාරය සම්බන්දයෙන් කුරානය තුල මෙසේ දැක්වේ. "මා අණ කල කල්හි නුඹ සුජුද් නොකර සිටීමට හේතුව කුමක්දැ"යි (අල්ලාහ් ඉබ්ලිස්ගෙන්) ඇසු කල්හි, ඉබ්ලිස්: 'මා ඔහුට වඩා උසස් වන්නෙමි, නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇතැ'යි පැවසුවේය" (කුරානය 7:12). සාතන්ගේ උඩඟු කම හේතුවෙන් ඔහුව ස්වර්ගයෙන් නෙරපනු ලදී.

රජකම් කලත් ඔහු උඩඟු කමෙන් පෙළෙන්නෙකු නම් ඔහුගේ විනාශය නියතය. ඊජිප්තුව පාලනය කල පාරාවෝ රජුගෙන් එය පෙනී යයි. අහංකාරකම නිසා ඔහු නබි මූසාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළේය. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු දෙවියන්ගේ දඬුවමට ලක් වූ අතර තම සේනාවත් සමග මුහුදේ ගිලි විනාශයට පත් විය. 

උඩඟු කමේ උච්චතම අවස්ථාව කෙනෙක් සත්‍යය දැක දැකත් ඊට පිටු පෑමයි. විශ්වය ගැන හැදෑරීමේදී එය නිර්මාණය කල එක් දෙවිකෙනෙකු සිටිය යුතු බව මනාව පැහැදිලි වේ. එසේ තිබියදීත් එය පිළිනොගෙන එය ඉබේ ඇතිවූ බව විශ්වාස කිරීමත් එක්තරා ආකාරයක උඩඟු කමක් වේ. 

දෙවියන් පහළ කොට ඇති සෑම දහම් පනිවිඩයකම විශ්වය දෙවියන්ගේ මැවීමක් බව පවසා තිබේ. විශේෂයෙන්ම අල් කුරණයෙන් ඊට බොහෝ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කොට ඇත. උදාහරණයක් ලෙස, විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බවත් එය තනි මූලාශ්‍රයකින් ආරම්භ වූ බවත් කුරානය පෙන්වා දෙයි; මෙම කරුණ කුරානය පහළ වී වසර 1,450කට පසුව විද්‍යාඥයින් විසින් ද සොයා ගන්නා ලද කරුණකි. එහෙත්, බොහෝ දෙනෙක් දෙවියන්ව විශ්වාස කරන්නේ නැත. 

දෙවියන්ව නිවැරදිව දැනගෙන ඔහුව විශ්වාස කොට ඔහු පෙන්වා දී ඇති මාර්ගයේ ගමන් කිරීම ස්වර්ගය ලැබීමට හේතුවකි. එසේ නොකිරීමෙන් මෙලොවදී කිසිම හානියක් සිදු වන්නේ නැත. එහෙත් එහි ප්‍රතිපල ලැබෙන්නේ මතු ජිවිතයේදීය. එම අවස්ථාවට මුහුණ දුන් පසු කෙනෙකුගෙන් සිදුවූ වරද නිවැරදි කිරීමට තවත් අවස්ථාවක් නොලැබෙන බව හොඳින් තේරුම් ගත යුතුය.

By Fasy Ajward. B.Sc(Physics Special)Hons,Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)