මිනිසා කෙරෙහි අල්ලාහ්ගේ ආශිර්වාදයන් (Blessings of Allah upon mankind)



දෙවියන් මිනිසාව මැවීමේදී ඔහුගේ ශරීරය තුළද ඉන් පිටතද අසීමිත ලෙස දායාදයන් පිරිනමා තිබේ. ඒවා ගැන අල් කුරානය මෙසේ පවසයි: "නුඹලා අල්ලාහ්ගේ දායාදයන් ගණනය කලේ නම් නුඹලාට කිසිදාක එය ගණන් කල නොහැකිය. නියත වශයෙන්ම මිනිසා මහා අපරාදකාරයා ලෙසද, තුති නොකරන්නා ලෙසද සිටියි" (කුරානය 14:34). එක් අවස්ථාවකදී දාවුද් නබි තුමා අල්ලාහ්ට ප්‍රාර්ථනා කරමින් මෙසේ කිවේය. "මගේ සමිඳුනි ඔබ මා හට ලබා දී ඇති දායාදයන්ට කෙසේ නම් ස්තුති කරන්නද". එවිට අල්ලාහ් මෙසේ පිළිතුරු ලබා දුන්නේය. "ඕ දාවුද් ඔබ මා හට ප්‍රමාණවත් ලෙස ස්තුති කළේ ය". දෙවියන්ට කරන ලොකුම ස්තුතිය ඔහුගේ අණ පිළිපදිමින් ජිවත් වීම වේ. 

දෙවියන් මිනිසාව මුලින්ම මැවූ පසු දේවදුතයින් ලවා ඔහුට නමස්කාර කරවන ලදී. එපමණක් නොව මිනිසාට සත්ව ලෝකයේ අද්විතීය සතානයක් හිමිකර දී තිබේ. එය දෙවියන් විසින් මිනිසාට ලබා දී ඇති විශේෂ ගෞරවයකි. තවද, "ඔහු මිනිසාට චතුර ලෙස කතා කිරීමට ඉගැන්නුවේය" (කුරානය 55:4). මේ හේතුවෙන් මිනිසාට බොහෝ භාෂාවන් කතා කල හැකිවී තිබේ.

මිනිසාව ඉතා අලංකාර රූපයෙන් මවා ඇති බව කුරානය තුල මෙසේ සඳහන් කොට ඇත. "නියත වශයෙන්ම අපි මිනිසාව ලස්සන හැඩයෙන් මැව්වෙමු" (කුරානය 95:4). මේ හේතුවෙන් සත්ව ලෝකය තුල කොඳු නාරටිය සිරස්ව තබාගෙන ඇවිදින එකම ජීවියා මිනිසාය. මිනිසාට ලැබී ඇති අවයවයන් අතරින් ඔහුගේ ඇඟිලි පවා සුවිශේෂී ය. මේ හේතුවෙන් මිනිසාට අනෙක් ජිවින්ට කල නොහැකි බොහෝ දේවල් කල හැකිය. මිනිසාට පෑනක් හසුරුවා ලිවීමට හැකියාව තිබෙන්නේද නොයෙකුත් දේවල් නිර්මාණය කිරීමට හැකිවී තිබෙන්නේද මිනිසාට ලැබී ඇති ඇඟිලි වල විශේෂිත නිමාව නිසා ය. එහෙත් මිනිසා ඔහුට ලැබී ඇති දේවල් වෙනුවෙන් කෘත ගුණ නොදැක්වීම නිසා ඉතා පහත් තත්වයට පත් වේ. මෙම කුරආන් වැකියේ ඒ බව සඳහන් කොට ඇත. "පසුව, අපි ඔහුව පහත් තත්ත්වයෙනුත් වඩාත් පහත් වුවෙකු බවට පත් කළෙමු" (කුරානය 95:5).

මිනිසාට මිල කල නොහැකි තරම් වටිනා අවයවයන් ලබා දී තිබියදී බොහෝ අය එම දායාදයන් ලබා දුන් දෙවියන්ව විශ්වාස කරන්නේ නැත. ඔවුන් සිතන්නේ ඒවා ඉබේ ඇතිවූ බවයි. ඔවුන් පවසන දේ සත්‍යයක් නම් යාන වාහන අහස්යාත්‍රා පරිගණක ආදිය පවා ඉබේ ඇතිවිය යුතුය. එහෙත් මේවා කිසිවක් ඉබේ ඇතිවන්නේ නැත. 

මිනිසාට ලැබී ඇති ඇස් කන් නාසය දිව ස්පර්ශය සහ හදවත යන අවයවවල වටිනාකම මුදලින් මිල කල නොහැකිය. උදාහරණයක් වශයෙන් මිනිස් ඇසක් අතිනවීන කැමරාවකට වඩා වටින්නේය. එහි වටිනාකම කිසිසේත්ම මුදලින් තක්සේරු කල නොහැක. මේ හේතුවෙන් කිසිම කෙනෙක් තම ඇස්දෙක වෙනුවෙන් මුළු ලෝකයම දුන්නත් එය භාර ගන්නේ නැත. කෙසේ වෙතත් බොහෝ අය සිතන්නේ මේ සෑම දෙයක්ම ස්වහාවිකවම ඇතිවී තිබෙන බවයි. එහෙත් ස්වහාව ධර්මය යනු අර්ථ දැක්වීමක් පමණි.

මිනිසාට ලැබී ඇති නිරෝගී ජීවිතය විශාල සම්පතකි. එහි වටිනාකම තේරෙන්නේ ඒවා නැතිවූ විටය. බොහෝ අය හදවත් රෝග, දියවැඩියාව, වකුගඩු අබාද නිසා පිඩා විඳින්නේය. ඒවා දැකිමේන් නිරෝගිව සිටින අය දෙවියන්ට ස්තුති කල යුතු නොවේද?

සෑම ජිවියෙකුටම ආශ්වාස කිරීම සඳහා ඔක්සිජන් වායුව අත්‍යාවශ්‍ය වේ. එය ඉතා පහසුවෙන් ලබා ගැනීමට මග පැදු දෙවියන්ට මිනිසා කෘත ගුණ දැක්විය යුතු නොවේද? එම වායුව මුදල් ගෙවා ලබා ගැනීමට සිදු වුයේ නම් කුමක් විය හැකිද? එසේම ජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය වේ. එය ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකිවන පරිදි ඇලදොළ ගංගා මවා තිබේ. තවද, වර්ෂාව මගින් ඒවා පෝෂණය කරන්නේය. මේ සෑම දෙයක් සඳහාම මිනිසා දෙවියන්ට ස්තුති කල යුතු නොවේද? කෙසේ වෙතත් බොහෝ අය සිතාගෙන ඉන්නේ මේවා සියල්ල ඉබේ ඇතිවී තිබෙන බවයි. එහෙත් එම සිතුවිල්ලේ කිසිම විද්‍යාත්මක පදනමක් නැත.

මිහිපිට සිටින ජීවින් අතරින් බුද්ධිමත්ම ජීවියා මිනිසා ය. මිනිසාගේ ඉහල බුද්ධිමට්ටම නිසා දෙවියන්ව නොදුටුවත් ඔහුව තේරුම් ගැනීමට හැකියාව තිබේ. එහෙත් බොහෝ අය දෙවියන්ව විශ්වාස කරන්නේ නැත. දෙවියන්ව විශ්වාස කලත් නැතත් මරණයෙන් පසු මිනිසාව දෙවියන් ඉදිරියේ නවතා ප්‍රශ්න කිරීමට නියමිත බව සෑම ප්‍රධාන ආගමකම සඳහන් වේ. එම ප්‍රශ්න කිරීමෙන් පසු ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය. ඊට සුදානම් වීම මිනිසාගේ ප්‍රධාන වගකීමකි. 

By Fasy Ajward. B.Sc (PhysicsSpecial)HonsJapura,

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)